නව ව්‍යවස්ථා කෙටුම්පත ලබන අප්‍රේල් ,පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා ජනාධිපති නිතිඥ රොමේෂ්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් නව පුද්ගල කමිටුවක් පත්කර ඇත.

එම කමිටුව ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට සකස් කිරීම අවසන් අදියරේ පවතින බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

කමිටුව වසරක පමණ කාලයක් විවිධ පාර්ශ්වවලින් යෝජනා ලබා ගෙන කෙටුම්පත සකස් කරමින් පවතියි. ලබන මාසය වනවිට කෙටුම්පත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිතය. මේ අතර දෙමළ දේශපාලන පක්ෂ විසින් සකස් කළ යෝජනාවලිය ඉන්දීය මහකොමසාරිස්වරයාට මේ වන විට ලබාදී ඇත. උතුරු – නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම, ඉන්දු – ලංකා ගිවිසුමට අනුව දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වැඩි බලතල ලබා දීම හෝ අවම වශයෙන් පෙඩරල් විසඳුමක් ලබා දෙන ලෙස එම යෝජනාවලියෙන් ඉල්ලා තිබේ. මෙම යෝජනාවලිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ලබා දීමෙන් පසු සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.

එම සාකච්ඡාවලින් පසු ඉන්දීය රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අප්‍රේල් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු යෝජනාවලිය පිළිබඳව ලක් රජය සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන බවද සඳහන් කර තිබේ. – (Aruna)

පුවත යවන්න