නිදහස් පෙරහුරුවට ආ සිවිල් ආරක්ෂකයන්ගෙන් කොරෝනා අවදානමක් ?

මිහින්තලය පුහුණු පාසලේ සිට නිදහස් උළෙලේ පෙර පුහුණුවීම්වලට කොළඹට පැමිණි සිවිල් ආරක්ෂක භට පිරිස අතර කොරෝනා වෛරස ආසාදිතයන් සිටිය හැකි බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසනවා..

මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 17 දෙනකු පසුගියදා හඳුනා ගැනුණු අතර එම පුහුණු පාසලේ බොහෝ පිරිසකට රෝග ලක්ෂණ තිබූ බවද වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට දැනුම් දීමට ක්‍රියා කළේ ඔවුන් සියලුම දෙනා එකට පුහුණුවීම්වල යෙදුණු නිසා බවද ඔහු පැවසුවා.

කොළඹ තිබෙන පුහුණුවීම්වලට 200 ක පමණ පිරිසක් එවා ඇති අතර ඔවුන් සමග මිහින්තලේ කඳවුරේ සිටි පිරිසකට උණ, කැස්ස, හෙම්බිරිස්සාව පැවැතීම හේතුවෙන් කඳවුරේ රඳවා තබා ඇති බවද හෙළිව තිබුණා.

එම රෝග ලක්ෂණවලින් පෙළෙන පිරිස මිහින්තලය මීටියගම ප්‍රදේශයේ පිහිටි තවත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබෙනවා.

ඔවුන්ගෙන් දස දෙනකුට වයිරසය ආසාදිත වී ඇති අතර ඒ අනුව වෛරසය මුළු භට කණ්ඩායම පුරාම පැතිරී ඇති බවට සැක කෙරෙනවා.සිවිල් ආරක්ෂක අංශ බලධාරීන්ට හා කොළඹ සෞඛ්‍ය බලධාරීන්ට තමන් මේ පිළිබඳ ලිඛිතව දැනුම් දුන් බවද අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා කියා සිටියා.

මේ පිළිබඳ සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ නිදහස් දින පෙළපාළියේ පෙරහුරුවට කොළඹ පැමිණි 278 දෙනාම කොවිඩ් ආසාදිතයකු හා නොගැටුණු අය බවයි. ඔවුන් දින දෙකක් තිස්සේ මිහින්තලේදී පෙරහුරු කර අහඹු පරීක්ෂාවන් කළ පසුව රැගෙන ආ බව ද ඔහු අනාවරණ කළා. – Aruna

පුවත යවන්න