නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකිනවා / මාර්තු 12 ව්‍යාපාරය

සාමකාමී උද්ඝෝෂණකරුවන් වෙත එල්ලකරන ලද නින්දිත ප්‍රහාරය තරයේ හෙළා දකිමු

ශ්‍රී  ලාංකේය පුරවැසියන් කාලාන්තරයක් තිස්සේ  ඉමහත් පරිශ්‍රමයෙන් රැකගත් ප්‍රජාතන්ත්‍රිය අයිතිවාසිකම් සුරැකීමේ  ඒකායන අරමුණින් යුක්තව පුරවැසි කේන්ද්‍රීය පාලනයක් ස්ථාපිත කරගැනීමේ අරමුණින් රොද බැඳ ගත් තරුණ ප්‍රජාව ප්‍රමුඛ අනෙකුත් ඊට ආශීර්වාද කරන ලද නිරායුධ හා සිවිල් පුරවැසියන් වෙත මෙදින එල්ලවූ සාහසික ප්‍රහාරය මාර්තු 12 ව්‍යාපාරය සාතිශය පිළිකුලෙන් යුක්තව හෙළා දකිනු ලබන්නේය. එහි වඩාත් ශෝචනීය පසුබිම වන්නේ මෙම ප්‍රහාරය සඳහා එක්වූ පොලු මුගුරු රැගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් මෙරටේ පාලනයෙහි නිරත දේශපාලන පක්‍ෂයෙහි සාමාජිකයන් ඊට එක්වූයේ මෙරටේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමෙන් අනතුරුව විමයි.

තමන් වෙත ධූරයෙන් ඉවත්වන්න යැයි දසතින් නැගෙන විරෝධතා හමුවේ ඊට ප්‍රතිචාර දක්විම්වස් මෙදින  උදෑසන ප්‍රකාශයක් කරන බවට මාධ්‍ය මගින් සිදුකල පුර්ව දැනුම්දීමත් සමඟ ඊට සහභාගී වීම සඳහා සියගණනක් වූ පිරිසක් අරලියගහ මන්දිරය වෙත රැස් වූ අතර ඒ සඳහා සහභාගී වූ බහුතර පිරිස් ඊට එක්කරගන්නා ලද්දේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මෙහෙයවීමෙනි. තවද ඊට පළාත් පාලන ආයතනවල සේවයෙහි නිරත රජයේ සේවකයන්ද ඒ අතර වූ අතර එකී ක්‍රියාවලියෙහි සංවිධායකත්වය දරන ලද්දේ  ප්‍රාදේශීය දේශපාලකයන් විසිණි.

මෙකී කරුණු දැක්වීමට පුර්වයෙන් හා පසුව දැඩි ආවේගයකින් පසුවූ දේශපාලන ආධාරකරුවන් අරලියගහ මන්දිරය ඉදිරිපස නිහඩ හා සාමකාමීව  අරගලයේ නිරත වෙමින් සිටි පිරිස් වෙත පහරදෙනු ලැබුවේ ඉතා  ම්ලේච්ජ හා  හා කෘර අයුරිනි. එහි වඩාත් සැළකිලිමත් වියයුතු කරුණ නම් දේශපාලන ආධාරකරුවන් මෙලෙස කටයුතු කරන ලද්දේ අදාළ ප්‍රහාරය වළක්වාලීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදක්වන පසුබිමකදී වීමයි.

එකී ප්‍රහාරයෙන් අනතුරුව අදාළ ප්‍රහාරකයන් ගාලුමුවදොර ස්ථාපිත ”ගෝඨා ගෝ ගම” ඉලක්ක කරගනිමින් ගමන් කිරීම අරඹන ලද්දේ ඉතා ප්‍රසිද්ධියේ සාකච්ජා කරමිනි. එවැනි වාතාවරණයකදී පවා ප්‍රචණ්ඩකාරී දේශපාලන ආධාරකරුවන්ගේ ගමන නතරකිරීමට හෝ  ‘අරගලබිම’ වෙත සේන්දුවීමේ උත්සහය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා පොලීසිය බලවත් උත්සහයක් නොගැනීම අපගේ විමතියට හේතුවූ කරුණකි. තවද එවන් තීරණාත්මක මොහොතකදී පවා අදාළ ප්‍රවේශ මාර්ග වෙත යොමුකොට තිබුණේ ඉතා  අවම   පොලිස් නිළධරයන් පිරිසක් පමණක් බවද ඉතා කණගාටුවෙන් යුක්තව සටහන් කරන්නෙමු.

පසුව ඉතා කෙටිකලක් තුළ ගාළුමුවදොර වෙත ප්‍රවිෂ්ඨ වූ පිරිස දීන 30 ක කලයක් තිස්සේ අනවරත අරගලයක නිරත නිර්පාක්ෂික තරුණ ප්‍රජාව වෙත තර්ජනය කරමින් හා පහරදෙමින් දේශපාලන ආධාරකරුවන් හැසිරෙන ලද්දේ ඉතා තිරස්චින ලෙසිණි.

මෙම සිද්ධිදාමය මෙරටේ දේශපාලන ඉතිසාහය වෙත එක්කකරන ලද්දේ කිසිදා නොමැකිය හැකි අපකීර්තිමත් මතකයක් වන අතර වසර 1983 දී උද්ගත වූ නිලජ්ජිත කළු ජුලිය  ද නිර්මාණය වූයේ රාජ්‍ය අනුග්‍රහය ලත් මැරයන්ගේ මෙහෙයවීමෙන් බව මෙහිලා සටහන් කල යුතුමය.

අප මේ වනවිට පසු වන්නේ දැඩි ආර්ථික අවදානම් සහගත අවදියකය. එමෙන්ම  ජාත්‍යන්තර සහය අපේක්‍ෂාවෙන් පසුවන රාජ්‍ය යාන්ත්‍රණයක් සහිතවය. එවැනි දුර්භාග්‍යසම්පන්න තත්වයකදී පවා මෙවැනි  ආකාරයේ අශිෂ්ඨ ක්‍රියා පිළිවෙතක  සඳහා තම ආශීර්වාදය ලබාදෙන සුළුතරයක් වූ බලවත් දේශපාලන බළධාරීන් කිහිපදෙනෙක් බලයේ රැඳී සිටීම රටෙහි අනාගත සමුර්දිය වළකන සාධකයක් බව මාර්තු 12 ව්‍යාපාරයේ අදහසයි. එබැවින් අප අදාළ බළධාරීන්ගේ කඩිනම් අවධානය සඳහා පහත සඳහන් කරුණු කිහිපය යොමු කිරීමට කැමැත්තෙමු.

අප ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව වත්මන් අරගල සමය තුළ කටයුතු කරන ලද්දේ මානව අයිතීන් සුරකින ලෝක ප්‍රජාවේ අභිමානවත් සාමාජිකයන් ලෙස තමන් වෙත උපතින් හා ව්‍යස්ථාපිතව ලැබුණු  සාමකාමීව විරෝධය දැක්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යටත්වය. එබැවින් එකී අනුල්ලංඝණිය අයිතිය පැහැර ගැනීම සඳහා වන කවර හෝ උත්සහයක් වේවා එවැන්නක් වැළක්වීම සඳහා පොලිස්පතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොලීසිය ද, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයද වහා ක්‍රියා කල යුතුය.

මෙතෙක් ආරක්ෂා කරගන්නා ලද විනය හා සාමකාමිත්වය අඛණ්ඩව අභ්‍යාස කිරීම සියලු අරගලය හා බැඳුණු තරුණ ප්‍රජාවේ අරමුණ හා ඉලක්කය වියයුතුය. එබැවින් කිසිදු කාරයක හිංසාකාරී ක්‍රියාවක නොයෙදෙන ලෙස  අදාළ පාර්ශව වෙතින් තරයේ ඉල්ලා සිටින්නෙමු.

අත්සන් කළේ: මාර්තු 12 මෙහෙයුම් කමිටුව වෙනුවෙන්

රෝහණ හෙට්ටිආරච්චි, විමල් ප්‍රනාන්දු,නීතිඥ නදීශානි පෙරේරා, සමාදනී  කිරිවන්දෙණිය, හේමන්ති ගුණසේකර,සමන් හමංගොඩ,නීතිඥ චාමින්ද සමන්ත රාජකරුණා, මංජුල ගජනායක, තිස්ස විජේතුංග, දයා හේරත්, නිශාන්ත ප්‍රීතිරාජ්,  නීතිඥ ප්‍රබෝධ රත්නායක,  උපේක්ෂි ප්‍රනාන්දු

පුවත යවන්න