නොනිමි ජීවිත කතාවට සුනිල් මාධව තිත තබයි

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 68 වියෙහි පසුවිය.

කොට්ටාවේ ආනන්ද විදුහලේ, මහරගම විද්‍යාකර විදුහලේ මෙන්ම කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වූ ඒ මහතා තරුණ වියේදීම පත්තර කලාවට එක්වූයේ 1963 වසරේදීය.

එමෙන්ම සුනිල් මාධව විසින් ග්‍රන්ථ කිහිපයක් ම ලියා ඇත.

මතක සැමරුම

වසර 1944 ය. එවකට “දිනමිණ“ පත්‍රයේ විශේෂාංග වාර්තාකරුවකු වශයෙන් සේවය කළ තරුණයකු වූ මීමන ප්‍රේමතිලකට විශේෂ වැදගත් රැස්වීම්, කථා ආදිය වාර්තා කිරීමට යන්නට සිදුවිය. දෝන ඇල්පිනා අරමුදලේ භාරකාරයන්ගේ මෙහෙයවීමෙන් කොළඹ විශ්වවිද්‍යාලීය ශාලාවේ පවත්වන ලද විශේෂ කතාවකි. ඒ කතාව සඳහා කල්කටා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ බණී මාධව බරුවා ගෙන්වන ලදී. ඒ කතාව “දිනමිණ“ට වාර්තා කිරීමට ගියේ මීමන ය.

මීමන ප්‍රේමතිලක විසින් 1965 වසරේ ලියූ “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය“ නම් සිය ජීවිත කතාව කෘතියේ මෙසේ සඳහන් වෙයි.

“කිලිටි කලිසමක් සහ කෝට් එකක් හැඳ, ඉතා බාල ටයි පටියක් කරේ පැත්තකට යන ලෙස අවුල්ව බැඳ, කැන්වස් සපත්තු දෙකක් දෙපය ලාගත් මහාචාර්ය බරුවා දේශනය ආරම්භ කළේය. දිය ඇල්ලක් ඇද හැලෙන්නාක් මෙන් ඔහු අභිධර්මය ඇතුළත් කතාවක් පැවැත්වීය. ඇඳුමෙන් මිනිහකුගේ මොලය මැනිය නොහැකි ය. බාහිර පෙනීමෙන් මිනිහකුගේ දක්ෂතා මැනිය නොහැකි ය.

” මාධව බරුවා ගැන මා කෙතරම් පැහැදුනේ ද කිවහොත් මගේ විවාහයෙන් පිරිමි දරුවකු ලදහොත් මේ වියතා සිහිවීමට ඔහුගේ නමින් කොටසක් ඒ උපදින දරුවාට තබන බවට මම අදිටන් කර ගතිමි. මා සිතූ පරිදිම 1944 මැයි 22 වැනිදා ශල්‍යකර්මයකින් පසු ඇඩ්ලින්ගේ කුසින් බිහි වූයේ පිරිමි දරුවෙකි. පෑ ගණනක් යන තුරු ඔහුට පණ නො ආවේය. ඔහුට පණ දීම සඳහා අම්ල වායුව නහයට සම්බන්ධ කරන ලදී.“

මීමන ඉතා දුකින්, හඬමින්, වැළපෙමින් ද සොයිසා සූතිකාගාරයේ ගේට්ටුව අසල සිටියේය. ඔහුට සුබ ආරංචියක් ලැබිණ. ඒ දරුවා නම්, අමාරුවෙන් මෙලොව එළිය දුටු සුනිල් මාධව ප්‍රේමතිලක ය.

සුනිල් මාධව හැදී වැඩුණේ පන්නිපිටියේ මහල්වරා නිවසකය. ඔහුත් සරත් මල්ලීත්, සඳුන් මල්ලීත් නිදා ගත්තේ තාත්තාගේ පුස්තකාල කාමරයට යාබදවය. සුනිල්ට රමණී හා මිහිරි නමින් නංගිලා දෙදෙනෙකු ද වූහ. සුනිල් මුලින්ම ඉගෙන ගත්තේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙනි. එවකට මීමන ප්‍රේමතිලක “දිනමිණ“ විශේෂාංග කර්තෘ හැටියට කටයුතු කොට සිටියදී අස්වී හොරණ ටයිම්ස් – ලංකාදීප වාර්තාකරු ලෙස සේවය කළ කාලයයි. මේ කාලයේ මීමනත් හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ නිර්මාතෘ විල්මට් ඒ. පෙරේරා මිතුරන් ය. මේ නිසා කුඩා සුනිල් ශ්‍රීපාලියේ ඉගෙනීමට මුලින්ම ගියේය.

මේ ගැන සුනිල් පැවසුවේ මෙසේය. “මා අධ්‍යාපනය සඳහා මුලින්ම ගියේ හොරණ තක්ෂිලා විදුහලට යි. හෝඩිය පන්තියේ අපට ඉගැන්වූ සිරිසේන ටීචර් ඇගේ ඔඩොක්කුවේ තබාගෙන මට කිරි පෙව්වේ මගේ අම්මා වගේමයි. උඩවත්තේ ගෙදර සිට තක්ෂිලාවට මා ගියේ රික්ෂෝවෙන්. ඉන්පසු මා ගියේ ශ්‍රීපාලියේ බෝඩිමට. එහි බෝඩිමේ සිටියදී පාසලේ භාරකරුවා වූ විල්මට් පෙරේරා මහතා මා හඳුන්වා දුන්නේ ආදි ශිෂ්‍යයකු වූ ගුණදාස ලියනගේටය. විල්මට් ඒ. පෙරේරා මහතා මා වඩාගෙන මගේ හිස අතගාමින් “පුතේ“ තාත්තා වගේ හොඳ මිනිහෙක් වෙන්න ඕනෑ“ යි කියමින් මගේ කම්මුල් දෙක සිප ගත්තා.

තාත්තා යළිත් ලේක් හවුසිය “ජනතා“ පත්‍රයට බැඳීම නිසා අපි පන්නිපිටියට ආවා. කොට්ටාවේ ආනන්ද විදුහලටත් මහරගම විද්‍යාකර විදුහලටත් ගියා. මේ පාසල්වල හිටියේ මාස කිහිපයයි.

සුනිල් යමක් කමක් තේරෙන වයසේ සිටම තාත්තාගේ පොත්පත් අත පත ගෑවේය. ඒවා බොහොමයක් ඉංග්‍රීසි පොත් ය. සුනිල් ඉන්පසු අධ්‍යාපනයට ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට ය. මුලින්ම සුනිල්ව ආනන්දයේ බෝඩිමට ඇරලුව දිනයේ මීමන අඬා වැළපුණේය. බෝඩිම භාර ආචාර්යවරයා කර්නල් ජී. ඩබ්ලිව්. රාජපක්ෂ මහතා මෙය දැක ඔහුට විහිළු කොට තිබුණි.

“මොකද? ප්‍රේමතිලක අඬන්නේ. අඬන්න ඕනෑ පුතානේ.“

මීමන කඳුළු අතරින් සිනාසීය. ආනන්දයේ විදුහල්පති වූ කර්නල් රාජපක්ෂ මීමන සමඟ ආනන්දයේ එකම පන්තියේ ඉගෙන ගත් මිතුරන් ය. ටික කලෙකින් සුනිල් ගේ මල්ලී සරත් ද බෝඩිමට ආ නිසා සුනිල්ගේ තනිය නැති විය.

සුනිල් හා සරත් ආනන්දයේ වයස 16න් පහළ ක්‍රිකට් කණ්ඩායමට 16න් ක්‍රීඩා කිරීම විශේෂයකි. සුනිල්ගේ මල්ලී සරත් රවීන්ද්‍ර ප්‍රේමතිලක (ක්‍රීඩා පුවත්පතේ හිටපු කර්තෘ) මෙසේ කීවේය.

“සුනිල් අයියා ක්‍රිකට් ක්‍රීඩාවේ All Rounder කෙනෙක්. තුන් ඉරියව්වෙන්ම දක්ෂයා. ඒ වගේම පන්නිපිටියේ ධර්මපාලයේ ඉගෙන ගත්ත සඳුන් රංජන ප්‍රේමතිලක මල්ලීත් විද්‍යාලීය (16 පහළ) ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළා. වරක් ආනන්ද ධර්මපාල ක්‍රිකට් තරගයේ දී සඳුන් ලකුණු 46ක් ලබා ආනන්ද කණ්ඩායමට අභියෝගයක් වුණා. මේ නිසා සඳුන්ට ආනන්දයට ඇතුළුවීමට තිබූ අවස්ථාව නැතිව ගියා.

ආනන්දයේදී සුනිල් මාධව විනීත, ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යයෙක්ව සිටි බවත්, සියලුම දඩබ්බර වැඩකර ඇත්තේ තමා බව සරත් පැවසීය. සුනිල් ආනන්දයේ කැපී පෙනුණ චරිතයක් වී ඇත. කොටගම වාචීස්සර හිමි, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, සී. එම්. වීරරත්න, තනබාලසිංහම් යන ගුරුවරුන්ගේ ප්‍රියතම ශිෂ්‍යයා වී ඇත්තේ සුනිල් ය.

තාත්තාගේ පුස්තකාලයේ තිබූ ඉංග්‍රීසි පොත් කියවූ සුනිල් අමාරු වචන ශබ්දකෝෂයකින් බලා ඉගෙන එහි නැති අමාරු වචන ආනන්දයේ ඉංග්‍රීසි ගුරුවරයා වූ තනබාලසිංහම්ගෙන් අසා ගත්තේය. ගුරුවරයා පීතෘ සෙනෙහසින් සුනිල්ට ඉංග්‍රීසි දැනුම ලබා ගන්නට උපකාර කළේය. සුනිල් තුළ මාක්ස්වාදය ගැන ඉගෙනීමට අනුබල දුන්නේ ජේ. ආර්. පී. සූරියප්පෙරුම ගුරුතුමා ය. ඔහු මාඕ සේතුං, මාක්ස්, ලෙනින් විප්ලවය ගැනත් කියවීමට සුනිල්ට අනුබල දුන්නේය.

තම පියා විසින් 1957 වසරේ පරිවර්තනය කළ ගුණසේන ප්‍රකාශනයක් ලෙස එළි දුටු පියඩෝර් ඩොස්ටොව්ස්කිගේ කෙටි නවකථාවක් වූ “වීණා වාදකයා“ කෘතිය අහම්බෙන් ගෙදර පුස්තකාලයෙන් ඔහුට හමුවෙයි. එතැන් සිට සුනිල් ඩොස්ටොව්ස්කිට ප්‍රේම කළේය. සුනිල්ගේ සිත් සසල කළ, පියා විසින් ලියූ කවි අතුරින් විශේෂ කවි පන්තියක් ඇත. එය පියා විසින් සංස්කරණය කළ “නවීන පද්‍ය රචනා“ කෘතියේ එයි. එහි පියා විසින් ලියූ “මිය ගිය දරුවෙක්“ කාව්‍ය සංකල්පනාවට පසුබිම් වූයේ පෞද්ගලික අත්දැකීමකි.“මාත් සරත් මල්ලීත් ළඟට හිටිය සමන් සුමිත්‍ර ප්‍රේමතිලක කුඩා කාලයේම මිය ගියා. තාත්තා ලියූ කවි පන්තිය කියවලා මම හොඳටම ඇඬුවා.

ආනන්දයේ සුනිල් ඉගෙන ගන්න කාලේ වැඩියෙන් පොත් කියවූ සුනිල් තුරුණු වියේ ම ලේක් හවුසියේ රැකියාවට ගියේය. ඒ 1963 වසරේ දී ය. ආනන්දයේ දී වෛද්‍යවරයකු වීමට සිහින මැවූ සුනිල්, දයාවංශ ජයකොඩි (ප්‍රකට පොත් ප්‍රකාශක) සමඟ “ආනන්දයේ“ සඟරාව සංස්කරණය කිරීමෙන් අත්දැකීම් ලබා තිබුණි. ආනන්දයේ නේවාසිකාගාරයේ සිට කෙළින්ම ගොස් ඇත්තේ ලේක් හවුසියට ය.

ඒ මතකය සුනිල් කියා තිබුණේ මෙසේය.“බෙන් මෙන්න කොල්ලව උඹට භාරයි.“ තාත්තා මා භාර දුන්නේ බෙනඩික්ට් දොඩම්පෙගම නමැති ඉතා ම සුන්දර, ඉතාම බුද්ධිමත් මිනිසාටයි. ඔහු විශ්වකෝෂයකි. ඔහු මා පොත් සාප්පුවලට රැගෙන ගියේය. හොඳ පොත් හඳුන්වා දුන්නේය. ‘සික්ස්ටීන් සොසයිටි‘, ‘කලම්බු ෆිල්ම් සොසයිටි‘ යනුවෙන් සිනමා සංවිධාන දෙකක සාමාජිකත්වය ලබා දුන්නේ ඔහුයි. තාත්තා “සිළුමිණ“ ප්‍රධාන කර්තෘ වුවද මට දිනකට රුපියල් පහක පඩියක් දුන්නේ. අලුතින් බැඳුණු අජන්තා රණසිංහට රුපියල් 12.50 ක් දුන්නා. ඒ තාත්තාගේ හැටිය. ලෝක සාහිත්‍යය ගැන දැනුම ලබා සිටි මම බෙනඩික්ට් නිසා හඳුනාගත් කැමූ සහ සාත්‍රේ මගේ සුහද මිතුරන් වුණා.“

සුනිල් මාධව පසු කලෙක “සිළුමිණ“ සංස්කරණය කළ “හදවත ඇඳි ගී“ ප්‍රථම නිසදැස් කවි පිටුව ලංකාව පුරා ජනප්‍රිය විය. මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, ආර්. ආර්. සමරකෝන්, ඔගස්ටස් විනායගරත්නම්, සුනන්ද මහේන්ද්‍ර, දයාසේන ගුණසිංහ, නාමෙල් වීරමුනි ආදීන්ගේ නිර්මාණවලින් මෙන්ම නවක කවියන්ගෙන් මේ පිටුව පෝෂණය වූහ. එහෙත් පසුව ඊට බාධා එල්ල විය.

සුනිල් මාධව යනු හොඳ සිනමා ලෝලයකු බව දන්නේ ඔහුගේ සොහොයුරු සරත් පමණි.

සුනිල් මාධව මුල් කාලයේ දුම්බීම පිළිකුල් කර ඇත. බසයක තම අසුන ළඟ සිට සිගරට් එකක් බිව් කෙනෙකු ගැන තම මවට කියා තිබුණේ – “අම්මේ මගේ ඇඳුම්වල සිගරට් ගඳයි.“ කියා ය. බියර් එකක්වත් බීමට ඔහු ඒ කාලයේ ඇබ්බැහි වී නැත. පියා බලවත් ලෙස රෝගාතුරව රත්නම් රෝහලේ වැතිර සිටීම සුනිල්ගේ ජීවිතයේ අභාග්‍යමත් දිනය විය. ඒ 1965 වසරේ දී ය.

“අසනීප වී රෝහලේ සිටි තාත්තා දින දෙකක් තිස්සේ දෑස් පියාගෙන කෝමාවක සිටියා. මම හිටියේ ඔහු ගේ හිස මත හිස තබාගෙන. හදිසියේ ම තාත්තා ඇඳේ කෙළින් වුණා. ඇස් ඇරියා. ඒ මොහොතේ තාත්තාගේ ඇස්වල තිබුණ කඳුළු මගේ මුහුණ පුරා විසිවුණා. ඒ මොහොතේම තාත්තා මිය ගියා. මගේ තාත්තා ඉඩ කඩම්, ගෙවල් දොරවල් අපට නුදුන්නාට කමක් නෑ. අපිට මනුස්සකම දුන්නා. මම පත්‍ර කලාවට යොමු වුණාම කිව්වේ – “කොන්ද කෙළින් තියාගෙන පත්තර කලාව කරන්න ඕනෑ“ කියලා.

තමාට මෙන්ම අනුන්ට ද අසාධාරණයට එරෙහි වූ සුනිල් රැඩිකල් චරිතයකි. ඒ සඳහා ඔහු රැකියාවලින් අස් විය. ‘දිවයින‘ පුවත්පතේ අටවැනි පිටුව ගැන ඔහු සිතුවේ ‘මගේ හදවත‘ කියාය. පදවි තානාන්තර අත හැරියේය. ජේ. වී. පී. කාරයකු නොවූ ඔහු තරුණ අරගලවලට සහාය දුන්නේය. ඔවුන් වෙනුවෙන් කතා කළේය. ඔහු විකල්ප පත්තරවලට පුරෝගාමි විය. “ලක්මිණ“, “ලක්දිව“, “හිරු“ පුවත්පත්වලින් තම මතය රටට ප්‍රකාශ කළේ තර්ජන, ගර්ජන, මරණ තර්ජන හමුවේය.

1992.01.24 වැනිදා සුනිල් ලියූ දිනපොතේ මෙසේ සඳහන් කළේය.

“ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට එන බව ඇසීමත් සතුටක්. ඇත්තෙන්ම ලෝකය වෙනස් වෙලා. ඔවුන්ගේ අදහස් හා ක්‍රියාවන් වෙනස් වන එක හොඳයි. කොහොමටත් හැමදේකටම කලින් ජනතාව ඉදිරියේ පාපෝච්චරණය කළ යුතුය කියා මට හිතෙනවා. ඔවුන් අතින් සිදු වූ යම් යම් වැරදි වෙනුවෙන් ම ඔවුන් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි. පෑගී, තැළී පොඩි වී සිටින දුප්පත් ජනතාව ඔවුන්ට සමාව දේවි කියල මට හිතෙනවා“

රත්නපුර පොලීසියේ නිලධාරියකු විවාහ දිනයේදී කළ වරද සම්බන්ධයෙන් ලියූ ප්‍රවෘත්තියකට එරෙහිව නඩුවක් දමා තිබූ අතර, එය ඔප්පු කිරීමට තිබූ සාක්ෂි රහස් පොලිසිය විසින් ගෙන ගොස් තිබුණි. මේ නිසා සුනිල් මාධවට කර්තෘ හැටියට වරද පිළිගන්නට සිදු විය. බරපතළ වැඩ ඇතිව අවුරුදු පහකට සිර දඬුවමක් දුන් අතර එය අවුරුදු දෙකකට අත්හිටෙව්වේය. රුපියල් 1,000ක් පිළිකා රෝහලට ගෙවීමට නියම විය.

එම මුදල එංගලන්තයේ සිටින සහෘදයන් පිරිසක් එවා ඇත. සුනිල්ට ඇප දීමට මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන හා සුනිල් වෙනුවෙන් නොමිලයේ පෙනී සිටි සුසිල් ප්‍රේමජයන්ත හිතමිතුරන්ව සුනිල් ගෞරවයෙන් සිහිපත් කර ඇත.

ප්‍රේමදාස ගේ දේශපාලනයට විරුද්ධ වූ තවත් පත්තරකාරයකු වූ සුනිල්, තම පියාගේ සමීප මිතුරෙකු වූ ඔහු ගැන මෙසේ පවසා තිබුණි.

දිනක් මා පුදුමයට පත් කරමින් අම්මා මෙසේ කීවා ය.

“ලොකු පුතේ, අපි ප්‍රේමදාස මහත්තය හම්බවෙන්න ගියා.“

“කවදද ගියේ? මොනවටද ගියේ?“ මා අම්මාගෙන් ප්‍රශ්න කළේ තරමක කෝපයෙනි.

“එයා හම්බවෙන්න එන්න කියලා තිබුණා. මම මල්ලිත් එක්ක ගියා. අපිට මත්තේගොඩින් ගෙයක් දෙනවා කිව්වා. ප්‍රේමදාස මහත්තයා ඇහැව්වා මීමන මාධවට නම දාපු හැටි දන්නවද කියලා. එයා ඇහැව්වා කිසිදේකට මාධව එන්නේ නැහැ නේද කියලා.“

කෙසේ වුවද මත්තේගොඩ නිවාස සංකීර්ණයෙන් ගෙයක් අම්මාට ලැබිණි. ඒ ගෙයට මූලික මුදල ගෙව්වේ ජනාධිපති අරමුදලෙන්ය. අපි අමාරුවෙන් හෝ නිවසේ මාස්පතා කුලිය ගෙව්වෙමු. සැබවින්ම මේ මිනිසාට සිදු වූයේ කුමක් ද? ඔහු කොටි සංවිධානයට විශේෂ උදව් උපකාර කළ බව මේ රටේ මිනිස්සු දනිති. ඒ අතරම භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට සිටින තැනකට ඇස් වසාගෙන වුවත් තනියම එන්නම් කියූ අයුරුත් අපි රූපවාහිනියෙන් දුටුවෙමු. ඒ සාකච්ඡාවලට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වූයේ නම් ඇතැම්විට මේ සිදු වූ විනාශය නොවන්නටත් ඉඩ තිබුණු බවයි මගේ අදහස.

සුනිල් මාධව ග්‍රන්ථ කිහිපයක් ම ලියා ඇත. ‘හඬනු මැන නිදහස‘ එංගලන්තයේ සිටින දයා ආනන්ද රණසිංහ එවූ ස්ටීච් බිකෝ රචිත කෘතියක පරිවර්තනයකි. “සත්‍යවාදියෙකුගේ දිනපොත“ – “අන්ධකාරයේ දරුවා“ – “මිනිසෙක්“ – “ඇමරිකා ඇමරිකා“ – “සැබෑ කවියකුගේ කතාව“ – “ශ්‍රේෂ්ඨයා“ – “ජීවිතය සුන්දරයි“ මේ කෘතීන් ය.

සුනිල් මොහොමඩ් අලිගේ කතාව The Greatest කෘතිය පරිවර්තනය කළේ තම බාල සොහොයුරු සඳුන් රංජන ප්‍රේමතිලක සමඟය. ‘ක්‍රීඩා‘ පත්‍රයේ උප කර්තෘවරයකුව සිටි සඳුන් අකාලයේ මිය ගියේය. මේ කෘතිය පිළිගන්වා තිබුණේ – “මේ පොත යළි යළිත් කියවමින්, ලියමින් සඳුන් මල්ලී සමඟ ගත කළ කාලය මට කිසිදා අමතක නොවේ. සිහිනයක් තරමටවත් ජීවිතය ගණන් නොගත් ඒ සොඳුරු මිනිසා වූ මගේ පොඩි මල්ලී – සඳුන් රංජන ප්‍රේමතිලකට“ ය.

සුනිල් විසින් රුසියානු මහා කවි යෙව්ජිනි යෙව්ටුෂෙන්කෝගේ “සැබෑ කවියකුගේ කතාව“ පරිවර්තන කෘතිය පිළිගන්වා ඇත්තේ – “තාත්තා කෙනකු මෙන් මට අවවාද දෙන උදව් උපකාර කරන ලොකු මල්ලී සරත් රවීන්ද්‍ර ප්‍රේමතිලකට“ උපහාරයක් වශයෙනි. 

සුනිල්ගේ නංගී සුනීතා රමණී කියන්නේ තම සුනිල් අයියා රැඩිකල් චරිතයක් බව ය. ඔහු තමාට දෙවියකු සමාන බව කියන ඇය “අයියා තමන්ට මෙන් අනුන් වෙනුවෙන් ද සටන් කළ විප්ලවවාදියකු ලෙසය. “මගේ අයියා මට වීරයෙක් වුණත් නිර්භීත මිනිහෙක් වුණත් ඔහුගේ හදවතේ සිටියේ කුඩා දරුවෙක්. සංවේදී වහා උණුවන පුද්ගලයෙක්“ කියාය.

සුනිල් වරක් අපට කීවේ තමා ප්‍රිය කරන ප්‍රියතම සිංහල චිත්‍රපටය ටයිටස් තොටවත්තගේ “චණ්ඩියා“ කියාය. සමාජ අසාධාරණය, අසහනය පිළිබිඹු කළ ප්‍රථම චිත්‍රපටය එය කියාය. 1968 දී පමණ ආනන්දයේ උගනිද්දී අප එක්ව නිපදවූ “නිම්වළල්ල“ චිත්‍රපටයේ කතාව ලියන්නට සුනිල්ට භාර දුනිමු. තරුණ අසහනය, විරැකියාව ගැන මුලින්ම ඔහු චිත්‍රපට කතාවක් ලියුවේය. “නිම්වළල්ල“ පාසල් සිසුන් නිර්මාණය කළ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වෙයි.

සුනිල්ගේ රමණී නංගීත් පත්‍රකලාවේදිනියකුව සිටියාය. ඒ ලංකාදීප, ජනතා, දිනමිණ පුවත්වලය. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉංජිනේරුවරියක් වන සරෝජිනි මිහිරි සුනිල්ගේ බාල නැඟණියයි.

සුනිල්ගේ දයාබර බිරිය මනෝරා ලේක්හවුස්හි “නවයුගය“ සඟරාවේ සහාය කතුවරියක් ලෙස සේවය කොට දැන් ‘අරුණ‘ පත්‍රයේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන්නීය. මනෝරා අතීතය මෙනෙහි කරන්නේ මෙසේය.

“මම පාසල් යන කාලේ ‘දිවයිනේ‘ 8 වැනි පිටුවට කවි ලිව්වා. මනෝරා ප්‍රභානි තෙල්මා නමින්. ඒත් සුනිල් අයියා දැනගෙන හිටියේ නෑ. පසු කාලයක “ලක්දිව“ පත්‍රයට මම කවි ලියනකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලාව ඉගෙන ගන්නවා. පදිංචිය රාජගිරියේ. ලක්දිව පත්තර කන්තෝරුව තිබුණේ බොරැල්ලේ සුපර් මාර්කට් එකේ උඩ තට්ටුවක. මම “ලක්දිව“ ට ගිහින් සැටියක වාඩිවෙලා ඉන්න කොට සුනිල් අයියා මා ළඟින් වාඩි වුණා.“මනෝරා නංගී අපි දෙන්න විවාහ වෙමුද?“

මේ ගහෙන් ගෙඩි එන්නාක් වැනි පැනයක්. මගේ හිත ඒ වන විටත් එයාට ඇදිලා තිබුණා.

මම “හා“ කිව්වා. 1992 දී අපි විවාහ වුණා. අපිට පුතෙක් ඉන්නවා. නන්ජිත මාධව ප්‍රේමතිලක කියලා. එයා දැන් බැංකුවක සේවය කරනවා.

“සුනිල් කියන්නේ සුළු දේටත් සංවේදී වන, දුකක් උහුලන්න බැරි පොඩි දේටත් කඳුළු සලන කෙනෙක්. ආදරවන්ත සැමියෙක්. ආදරවන්ත පියෙක්. අපි දෙදෙනාටම වගේම සියලු දෙනාටම සම මෙත් දක්වන උදාර මිනිහෙක්.“ මනෝරා කීවාය.

“මගේ වීරයා ඔයා තමයි තාත්තේ“ කියමින් මගේ නන්ජිත පුතා මට හැම මොහොතකම ශක්තිය ලබා දුන් බවත්, සෑම කටයුත්තකදීම මගේ නිවස බලාගෙන මා අසල සිටින මනෝරා ශක්තියක් දුන් බව සුනිල්  පැවසුවේය.

පුවත යවන්න