පළාත් පාලන ජන්දයට නාම යෝජනා දුන් රාජ්‍ය සේවකයන්ට මූලික වැටුප දීමට තීරණයක්

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන් රජයේ සේවකයන්ට මාර්තු මාස 09 වැනිදා සිට අප්‍රේල් 25 වැනිදා දක්වා ඔවුන්ගේ මූලික වැටුප පමණක් ගෙවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මෙම කැබිනට් පත්‍රිකාව ඉකුත් මාර්තු මස 25 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර බොහෝ දුරට ලබන සතියේදී ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි. මෙලෙස වැටුප් ගෙවීම අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගන්නා ලෙසද කැබිනට් මණ්ඩලය විසින් යෝජනා කර තිබේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් පාලන මැතිවරණයට තරග කරන රජයේ සේවකයකුට රාජකාරි කටයුත්තක නිරත විය නොහැකිය. නමුත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව එහි සඳහන්ව නැතැයිද අමාත්‍යාංශය කියයි.

මැතිවරණය මෙම මස 25 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව තවමත් ප්‍රකාශ කර නොමැති බැවින්, මැතිවරණයට අදාළ ගැටලු නිරාකරණය වන තුරු මෙම මස 25 වැනිදා දක්වා කාලය තුළ දී මෙලෙස මූලික වැටුප පමණක් ගෙවීමට අදාළව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ. බොහෝ දුරට අලුත් අවුරුදු සමයට පෙර මූලික වැටුප ගෙවීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියයි.

රාජ්‍ය සේවකයන් තුන්දහසක් පමණ මෙම මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී තිබේ. මැතිවරණය දිගින් දිගටම කල් යෑම නිසා මෙසේ නාමයෝජනා දුන් රජයේ නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බැවින් ඔවුන්ට මූලික වැටුපවත් ගෙවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම සහ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, ජනාධිපතිවරයාගෙන්ද ලිඛිතව ඉල්ලා තිබිණි.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව යවා තිබුණේ මැතිවරණයට තරග කරන රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා නිර්දේශයන් ඉදිරිපත් කර බවය. නමුත් මැතිවරණයට දින නියම කර තිබියදී අඛණ්ඩව එලෙස මූලික වැටුප ගෙවීමේ හැකියාවක් නොමැති බවද එය ආර්ථිකමය වශයෙන්ද ගැටලුවක් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියයි.

පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් නොමැති බැවින් ඒවායෙහි පාලනය කාර්යක්ෂමව කරගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලන ලෙස අගමැතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.-සාලිය කුමාර ගුණසේකර

පුවත යවන්න