ප්‍රවීණ රංගන ශිල්පියෙකු වගේම නාට්‍ය හා රංගකලාව පිළිබද විද්වතෙකු වූ අභාවප්‍රාප්ත ජයලාල් රෝහණ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අනිද්දා (14) සිදු කෙරෙනවා.
කලාව වෙනුවෙන් වගේම කලාවට පෙම්බදින මිනිසුන්ගේ දැනුම වර්ධනය වෙනුවෙනුත් ජයලාල් රෝහණයන් කළේ සුවිශේෂී මෙහෙවරක්.
1964 වසරේ නොවැම්බර් පළමුවනදා උපත ලැබූ ජයලාල් රෝහණයන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සිප්සතර හැදෑරුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබාගත්තා. 1976 වසරේ කලා ක්ෂේත්රයට පැමිණි ජයලාල් රෝහණයන් රංගන ශිල්පියෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු, වේශ නිරූපන ශිල්පියෙකු ඇතුළු ක්ෂේත්‍ර රැසකින් කලාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදුන්නා.
සුබ සහ යස, සෙනෙහෙබර ඩොලී, හිට්ලර්, සොක්රටීස්, කැලණි පාලම, හංකිති 13, සුදු සහ කළු යන වේදිකා නාට්‍ය රැසක්ම ඔහු වර්ණවත් කළා. ඉසුරු යෝගය, බොරළුපාර, සඳගලතැන්න, මිරිගු තෙර, එකට ගැටුම ආදී ටෙලිනාට්‍ය රැසකටම රංගන ශිල්පියෙකු ලෙස ජයලාල් රෝහණයන් දායක වුණා. ඉසුරු යෝගය ටෙලිනාට්‍යයේ මුතුමිණ චරිතය නිරූපණය කරමින් ඔහු දැක්වූ රංගනය බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්රියවී තිබෙනවා.
අයෝමා, ටිකිරි සුවද, සිංහාවලෝකනය, ද නිව්ස් පේපර් ඇතුළු චිත්‍රපට රැසකටම ඔහු විශිෂ්ට දායකත්වයක් ලබාදුන්නා. ඔහු සුමති සම්මාන, යෞවන සම්මාන ඇතුලු සම්මාන රැසක් හිමිකරගත් කලාකරුවෙකු ද වනවා. සබේ විදුලි විලක්කුව, සැබෑ මුහුණේ වෙස් මුහුණ ආදී වේශනිරූපනය හා ආලෝකකරණය පිළිබද පර්යේෂණාත්මක ග්රන්ථ රැසක් පලකළ ජයලාල් රෝහණයන් වේදිකා ආලෝකකරණය පිළිබද හසල දැනුමක් තිබූ කලාකරුවෙක්.
ඒ මහතාගේ දේහය අංක පනහෙන් තුන ශ්‍රී සීලානන්ද මාවත, කොස්සින්න, ගනේමුල්ල යන ලිපිනයේ පිහිටි නිවසේ අද රාත්‍රී හතේ සිට හෙට පසුවරු තුන දක්වා තැන්පත්කර තැබෙනවා.
අනතුරුව දේහය බොරැල්ල ශ්‍රී සුදර්ශී ශාලාව වෙත රැගෙන යාමට නියමිතයි.