පාපතරයින් විසින් සිදුකළ පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි

පාපතරයින් විසින් එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 3ක් සම්පූර්ණ වනවා.

2019 වසරේ අප්‍රේල් 21 වන දින කටුවාපිටිය සියෝන්, කොච්චිකඩේ යන දේවස්ථානවලට සහ කොළඹ පිහිටි හෝටල් තුනක් ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර තිබුණා.

ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක මෙන්ම දෙහිවල පිහිටි ලැගුම්හලක ද සුළු පිපිරීම් වාර්තා වී තිබුණේ අදාළ පිපිරීම් මාලාවෙන් පසුවයි.

විදේශිකයින් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 270කට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වු අතර තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

අදාළ ප්‍රහාරය එල්ල වී අදට වසර තුනක් ගත වීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික උත්සව කිහිපයක් සංවිධානය කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 3ක් සපිරෙන අවස්ථාවේදී පවා මෙම අමානුෂික ක්‍රියාවේ වරදකරුවන්ට එරෙහිව නිසි පියවර ගෙන නොමැතිවීම ලාංකිකයන්ගේ දැඩි විරෝධයකට ලක්ව තිබෙනවා.

පුවත යවන්න