පාරිභෝගිකයන් ඇන්දූ, ලීටර 18 ගෑස් සිලින්ඩර නිෂ්පාදනය නවතයි

වෙළෙදපොළ තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති ලීටර් දහඅටේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ගෘහස්ථ පරිභෝජනය සඳහා ලිට්‍රෝ ආයතනය විසින් නිපදවා බෙදාහරිනු ලබන්නේ කිලෝග්‍රෑම් 12.5 වශයෙන් සටහන් කෙරුණු පාරිභෝගිකයාට හුරුපුරුදු සාමාන්‍ය ගෑස් සිලින්ඩරය පමණක් බවයි සමාගම පවසන්නේ.

මෙලෙස ලීටර් 18 වශයෙන් සටහන් කෙරෙන දැනට වෙළෙඳපොළේ රුපියල් 1395ක මිලකට අලෙවිකරණ ගෑස් සිලින්ඩරය නිෂ්පාදනය කිරීම අත්හිටුවන ලෙස සභාපතිවරයා ලිට්‍රෝ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත්තේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දායි.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය ගනුලැබූ තීන්දුවකට අනුව එම ලීටර් 18 ගෑස් සිලින්ඩර​යේ නව මිල රුපියල් 1150ක් ලෙසට තීරණය කර ඇති අතර එම මිල සටහන් කෙරුණු ගැසට් නිවේදනය නිකුත් කෙරුණු වහාම වෙළෙඳපොළේ ඉතිරිව ඇති එම ගෑස් සිලින්ඩර නව මිල යටතේ අලෙවි කොට අවසන් කිරීමට නියමිතයි.

මෙසේ බර වෙනුවට ලීටර ප්‍රමාණය දක්වමින් ගෑස් අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් දැඩි වංවාචකට ලක් කෙරුණු අතර කිලෝ 3ක පමණ බරක් අඩු කරමින් හා රුපියල් 100ක අඩු මිලක් හුවා දක්වමින් ගෑස් අලෙවි කිරීම ක්‍රියාත්මක කිරීම ඊට හේතුවයි.

පුවත යවන්න