පාස්කු ප්‍රහාරයට සාධාරණයක් කරන්න පාප් වහන්සේගේ සහාය / සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම සඳහා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ගෙන යන සටනට ප්‍රැන්සිස් පාප් වහන්සේ සහයෝගය ලබා දෙන බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා.
ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් තමාගේ කනස්සල්ල කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාප් වහන්සේට ලිඛිතව දැනුම් දුන් බවයි.
මේ සදහා අවශ්‍ය ඉදිරි පියවර සඳහා පාප් වහන්සේ සහාය ලබා දෙන බවට ප්‍රතිචාර දක්වා ඇති බව ද මෙහිදී අනාවරණ කළා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් කතෝලික සභාව සිය නොසතුට මෙහිදී දැනුම් දී තිබෙනවා.
ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීම මෙම වෑයමේ අපේක්ෂාවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක්” ඇති බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවා.
රජය යුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් අපේක්ෂා කිරීමට කිතුනුවන් සූදානම් බවයි පියතුමා සදහන් කළේ.
සාධාරණය වෙනුවෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීම රට පාවා දීමේ ප්‍රයත්නයක් ලෙස නොසැලකිය යුතු බව ද මෙහිදී අවධාරණය කළා.
කතෝලික සභාව විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයක් සපුරාලීම සඳහා ක්‍රියා කරන බවට කරන ප්‍රකාශ ද බැහැර කරන බවයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවේ.
කතෝලික සභාව දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන බවත්, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය පමණක් අවශ්‍ය බවත් අවධාරණය කෙරුණා.

පුවත යවන්න