පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනා ප්‍රහාරයට පෙර දිනයේ එනම් 2019 අප්‍රේල් 20 වැනිදා වීඩියෝ දර්ශන 17ක් පටිගත කර තිබෙන බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වෙයි.
පාස්කු දින ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ප්‍රහාරය සඳහා සූදානම් වූ ආකාරය, ඒ සඳහා අවශ්‍ය ගමන් මලු ඇතුළු භාණ්ඩ මිලදී ගත් ආකාරය ඇතුළු කරුණු රැසක් විස්තරාත්මකව සඳහන් කර තිබෙන අතර, එහි කොටසක් පහත දැක්වේ.
අලියාර් මංසන්දියේ සිදුවීමෙන් අනතුරුව කාත්තන්කුඩියෙන් පලාගිය පසු සහරාන් තම බිරිඳ සහ දරුවන් ප්‍රධාන වශයෙන් රඳවා තැබුවේ කැකුණගොල්ල ප්‍රදේශයේ සහ කාත්තන්කුඩියේ විසූ සිය දෙමාපියන් භාරයේය. ඒ මුළු කාලය තුළම ඔහු නිරතුරුවම ආරක්ෂක අංශ වෙතින් වසන් වෙමින් පළවි, ඔලුවිල්, පුත්තලම, මාවනැල්ල, අම්පාර සහ මල්වාන වැනි ප්‍රදේශවල සැඟවී මිතුරන් සහ ආධාරකරුවන් සමග ගත කළේය. කලින් කලට ඔහු විසින් සිය දරුවන් සහ බිරිඳ බැලීමට රාත්‍රී කාලයේදී කැකුණගොල්ල හා කාත්තන්කුඩි ප්‍රදේශවලට ගොස් ඇති අතර එසේ ගිය එක් ගමනකදී දළ වශයෙන් දින දෙකක පමණ කාලයක් එහි රැඳී සිට ඇත. සාරාද ඔවුන් සමග එම ස්ථානවල නැවතී සිට තිබේ.
වර්ෂ 2018 මුල් භාගයේදී ත්‍රස්ත විමර්ශන නිලධාරියකු කැකුණගොල්ල ප්‍රදේශය වෙත පැමිණ සහරාන් පිළිබඳ විමසා තිබේ. ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදුවී නොමැති බව පෙනී යයි. කෙසේ වුවත් වර්ෂ 2019 පෙබරවාරි මස 19 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හයදෙනෙකු පමණ කැකුණගොල්ල වෙත පැමිණ තිබේ. හදියාගේ සහෝදරයා වන අන්සාර්ද ඔවුන් සමග විය. වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහුව විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී විමර්ශන නිලධාරීන් විසින් අදාළ පුපුරන ද්‍රව්‍ය එම ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් වෑන් රථය සමග ඔවුගේ තිබූ සම්බන්ධතාව අනාවරණය කොටගෙන තිබිණි. ඔවුන් හාදියාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක්ද ලබාගෙන තිබිණි.
මෙම තත්ත්වය පිළිබඳ දැනගත් පසුව සහරාන් ඔහුගේ පවුලේ අය සහ සාරාව කැකුණගොල්ල ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර, එම කාර්ය සඳහා හස්තුන්, ඉල්හාම්, රිශ්ඛාන් සහ තවත් කීපදෙනෙක් සම්බන්ධ වූහ. එම ගමන අතරමගදී හාදියා විසින් පාවිච්චි කළ දුරකථනය විනාශ කර ඇති අතර, එහි එමි අංකය ඉවත් කිරීමෙන් පසුව එය බැහැර කර තිබේ. ඉල්හාම් අතරමගදී මෙම කණ්ඩායම සිය මෝටර් රථයේ නංවාගෙන ගමන් කොට ඇත.
යළිත් වරක් 2019 පෙබරවාරි 28 වන දින ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් හත්දෙනෙක් සහරාන්ව සොයා කැකුණගොල්ල වෙත ගොස් තිබේ. 2018 ජූලි 9 වන දින වන විට අංක B 92358/8/18 දරන නඩුවට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සහරාන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබිණි. එහිදී සහරාන්ගේ විවාහයෙන් ඥාති සහෝදරයකු වන පුද්ගලයෙක් ඔවුන්ට හමු වී ඇති අතර ඔහුගෙන් තොරතුරු විමසන අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් ඩයස්ගෙන් ලැබුණු ඇමතුමකින්, ඔවුනට දන්වනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඒ වන විටත් ඔහු පිළිබඳ විමර්ශනයන් අරඹා තිබුණු බැවින් එම පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වන ලෙසයි. ත්‍රස්ත විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට සහ එවකට වැඩබලන අධ්යක්ෂවරයාට මේ පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් එම විමර්ශනයෙන් ඉවත්ව ඇත.
2019 වසරේ මාර්තු මස මුල් භාගයේදී රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු අනුව අයි.එස්.සංවිධානයේ ප්‍රහාර මාදිලියට සමාන ආකාරයේ ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේදී දියත් කිරීම සඳහා මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල තරුණයන්ව රිල්වාන් විසින් පොලඹවමින් සිටින බවට සැලවිය.
2019 මාර්තු 25 හෝ 26 යන දිනවල හන්තුන් මුබාරක් සහ රිස්වාන් විසින් වාලච්චේනහි ඔඩමාවඩි ප්‍රදේශයෙන් යූරියා මිලදී ගෙන ඇත. ඔවුන් පොළොන්නරුවෙන් එම මිලදී ගැනීම සඳහා උත්සාහ කර ඇති නමුත් එම උත්සාහය සාර්ථක වී නොමැත.
යූරියා කිලෝ ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් මිලදීගෙන එදිනම පානදුර පිහිටි ආරක්ෂක නිවස්නය කරා ඒවා ප්‍රවාහනය කොට තිබේ. 2019 මාර්තු මාසයේදී රිල්වාන් විසින් කිලෝ 35ක් බරැති නයිට්රේට් අම්ලය අඩංගු බැරල් 8ක් කාත්තන්කුඩියෙන් මිලදී ගත් අතර, සුදු වෑන් රියකින් එය ප්‍රවාහනය කොට තිබේ.
2019 අප්‍රේල් මස 11 වැනි දින ලීටර් 50ක ධාරිතාවකින් යුත් ගමන් මලු 10ක් බත්තරමුල්ල පිහිටි ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ආයතනයෙන් මිලදී ගෙන තිබේ. ඒවා මිලදී ගැනීම සඳහා ඔහුගේ පාරිභෝගික වරප්‍රසාද අංකයද භාවිත කොට තිබිණි. මරාගෙන මැරෙන ප්‍රහාරයේදී භාවිත කර තිබුණේ මෙම ගමන් මලුය.
2019 අප්‍රේල් මස 17 වන දින ඉන්ෂාෆ් විසින් සිනමන් ග්‍රෑන්ඩ්, ටාජ් සමුද්‍රා, ෂැංග්‍රිලා සහ කිංස්බරි යන හෝටල් අවට පූර්ව නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
2019 අප්‍රේල් 18 වන දින ‘රුමාන් අම්ජාඩ්’ නමැති මුස්ලිම් පුරුෂයන් විසින් පලඳින සාටක වර්ගයකින් සාටක අටක් කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් පාරේ අංක 176 දරන ලිපිනයේ පිහිටි නිව් ලුක් අල් හමයින් නමැති ස්ථානයෙන් හස්තුන් සහ මුබාරක් විසින් මිලදී ගෙන තිබේ. 2019 අප්‍රේල් මස 19 වන දින බත්තරමුල්ල පිහිටි ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ආයතනයෙන් රුපියල් 76,650ක් පමණ වටිනා ආයිත්තම් තොගයක් මිලට ගෙන තිබූ අතර එම ආයිත්තම් අතර කැප් තොප්පි, කලිසම්, කොට කලිසම්, අව් කණ්ණාඩි, පා ආවරණ (මේස්), දිවීමට භාවිත කරන පාවහන්, ටී ෂර්ට්, ඔරලෝසු ආදිය අඩංගු විය.
2019 අප්‍රේල් මස 20 වන දින මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනා විසින් පස්වරු 1.17 සහ පස්වරු 3.32 අතර කාලය තුළ වීඩියෝ දර්ශන 17ක් පමණ පටිගත කොට ඇති අතර, එය සිදුකොට ඇත්තේ ගල්කිස්ස පන්සල පාරේ පිහිටි ස්පෑන් ටවර් ගොඩනැගිල්ලේදීය. මෙම වීඩියෝ දර්ශන අතර සහරාන්ගේ කතාවක්ද අන්තර්ගත විය. එම කතාවේදී මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතු 4ක් සහ එය ශ්‍රී ලංකාවේදී එල්ල කිරීමට හේතු 10ක් සහරාන් විසින් සඳහන් කර තිබිණි. ඔවුන් සියලුදෙනා ඇඳ සිටියේ කළු පැහැති ඇඳුම් වන අතර, ඉන් දින 2ට පෙර මිලදී ගත් රුමාන් අම්ජාඩ් නමැති සාටකද පැලඳ සිටියෝය.
මෙම ප්‍රහාරය සඳහා ඔවුන් ඉදිරිපත් කොට තිබූ හේතු 4 වන්නේ,
අහ්ලාහ් වෙනුවෙන් අහ්ලාහ්ගේ නාමයෙන් ප්‍රේම කිරීම හා අහ්ලාහ්ගේ නාමයෙන් වෛර කිරීම (අහ්-වලා ‘ව-ඉල්-බරා)
බගු නමැති මුස්ලිම්වරුන් වෙත දෙවියන් විසින් ප්රදානය කරන ලද ඉස්ලාම් රාජ්‍යයේ මුස්ලිම්වරුන් ඝාතනය සඳහා රටවල් 80ක සන්ධාන ගතවීමෙන් යුතුව සුදු පොස්පරස් යොදාගෙන තනන ලද බෝම්බ භාවිත කිරීම උදෙසා පළිගැනීමක් ලෙස.
නවසීලන්තයේ ක්රයිස්ට් වර්ච්හි මුස්ලිම් දේවස්ථානවල යාඥා කරමින් සිටි අහිංසක මුස්ලිම්වරුන් ක්‍රිස්තියානි ලබ්ධිකයෙක් විසින් ඝාතනය කරනු ලැබීමට පළිගැනීමක් ලෙස ප්‍රංශය ඇමෙරිකා, එක්සත් ජනපදය, රුසියාව, ඉතාලිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඊශ්‍රායලය සහ යුරෝපා කලාපයේ රටවල් වැනි කතෝලික රටවල්වල විනෝදය සඳහා මුස්ලිම්වරුන් ඝාතනය, එවැනි ප්‍රහාර දියත් කිරීම සඳහා කණ්ඩායම් පුහුණු කිරීම සහ එවැනි කටයුතුවලට මූල්‍යාධාර ලබාදීම, එමෙන්ම ඔවුන් ඉරාකයේ මොසූල් ප්‍රදේශයේද, සිරියාවේ රක්ඛා ප්‍රදේශයද, ලිබියාවේ සිරිප්ටි ප්‍රදේශයද වනසමින් සිටිති. ක්‍රිස්තියානි දේවස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන්නේ මෙම හේතුව නිසා බව ඔහු පවසයි.
හෝටල් ඉලක්ක කිරීමට හේතුව ලෙස ඔහු පවසා තිබුණේ ඉරාකයේ සහ සිරියාවේ මුස්ලිම්වරුන් ඝාතනය කරන, කාන්තාවන් දූෂණය කරන දේවස්ථාන විනාශ කරන සහ කුර්ආනය ඉරා විසිකරන රටවල මිනිසුන් සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ විනෝදය සඳහා සංචාරය කරන බැවිනි.
මෙම ප්‍ර්‍රහාරය ශ්‍රී ලංකාවේ දියත් කිරීමට හේතු ලෙස කාරණා 10ක්ද සහරාන් ඉදිරිපත් කර ඇත.
1. අහ්ලාහ් දෙවියන්ට නිග්‍රහ කිරීම සහ බැණ වැදීම
2. කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයකදී ‘අහ්ලාහ්’ ලෙස සටහන් කරන ලද සූකරයකුගේ රූපයක් ප්‍රදර්ශනය කිරීම.
(ඉස්ලාමයේ හරාම් එනම් තහනම් කරන ලද සත්ව විශේෂයක් ලෙස සූකරයන් සැලකේ)
3. පූජ්‍ය ඥානසාර හිමියන් විසින් අහ්ලාහ් දෙවියන් නැවත ඉපදී ඇති බවට සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම.
4. තමාට හෝ තමාගේ පවුලටත් වඩා අතිශය භක්ති ආදරයෙන් ගරු කරනු ලබන මොහොමඩ් නබිතුමා හට අපහස කිරීම සහ බැණ වැදීම.
5. තම ජීවිතයටත් වඩා වටිනා ලෙස සලකන කුර්ආනය ඉරා දැමීම හා පිලිස්සීම.
6. මුස්ලිම් දේවස්ථාන විනාශ කිරීම.
7. මුස්ලිම් ජනතාවගේ ආර්ථිකය සහ නිවෙස් විනාශ කිරීම සහ අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ට අයත් ඉඩම් ආදිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.
8. විමර්ශනයක මුවාවෙන් මුස්ලිම් කාන්තාවක් බුද්ධි අංශ නිලධාරීන් විසින් දූෂණය කිරීම සහ එය සැඟවීමට කටයුතු කිරීම.
9. බටහිර අප්‍රිකාවේ කුරුස යුද්ධයේ හවුල්කාර පාර්ශ්වයක් බවට ශ්‍රී ලංකාව පත්වීම
10. ඉස්ලාමය නොඅදහන්නන් දුටු තැන මරා දැමීමට අහ්ලාහ් දෙවියන් විසින් දී ඇති නියෝගය.
සහරාන් බේරුවල හා දිගන නගරවල මුස්ලිම් ජනතාව ඉලක්ක කොටගත් සිදුවීම් පිළිබඳවද අදාළ වීඩියෝ මගින් සඳහන් කර තිබේ.
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ඔවුන් අහ්ලාහ් දෙවියන් වෙනුවෙන් සිය ජීවිත කැප කිරීම නොහොත් ඉස්තිෂාඩ් වතාවතෙහි නිරතවන බවයි. එම අරාබි වචනයේ තේරුම ජීවිත පූජා කිරීම යන්නයි. තම ජීවිතය එසේ පූජා කරන අයකුගේ මරණය වීරයෙකු ලෙස මියයාමක් වන අතර, එවැනි මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ශ්‍රී ලංකාව තුළ IS සංවිධානය වර්ධනය වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.
ඉස්ලාම් රාජ්‍යයක මූල බීජය මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ලේ, මස්, ඇට, නහර මගින් රෝපණය වනු ඇති බවත්, මෙම ප්‍රහාරය ඉන්දියාවද ජයග්‍රහණය කිරීමට භාවිත කළ යුතු මෙන්ම ඉන්දියාවේ වෙසෙන මුස්ලිම්වරුද ඔවුන්ගේ එදිරිවාදීන්ට එරෙහිව මෙවැනි ප්‍රහාර දියත් කළ යුතු බව සහරාන් සඳහන් කරයි.
මෙම වීඩියෝ දර්ශනවලින් එකක කණ්ඩායම විසින් බයියාත් නමැති දිවුරුමක් ප්‍රකාශයට පත් කරන අතර, එහිදී ඔවුන් IS සංවිධානය කෙරෙහි සහ එහි නායක අබු බකාර් අල් බග්ඩාඩ් කෙරෙහි තමා තුළ ඇති ළැදියාව ප්‍රකාශ කරති. සහරාන් විසින් අල් බග්ඩාඩි පිළිබඳව සඳහන් කිරීමේදී ඔහුට අල් ක්වරේෂි යන නම භාවිත කරන අතර, ඉන් අදහස් වන්නේ මොහොමඩ් නබිනායකතුමා අයත් වන ගෝත්රයටම ඔහුද අයත් වන බැවින්, ඉස්ලාම් රාජ්‍යයේ නායකත්වය හෙබවීමට ඔහු සුදුස්සෙකු බවයි.
ප්‍රහාරයට පෙර සූදානම පිළිබඳ සාක්ෂි විමර්ශන කොමිසම ඉදිරිපිට විභාග කරන ලද සාක්ෂිවල අන්තර්ගත වන අතර, ඒවා ලබාගෙන ඇත්තේ වාචික සහ ලිඛිත සාක්ෂි මත පදනම්ව විමර්ශන නිලධාරීන්ගේ හා බුද්ධි අංශ සාක්ෂි ප්‍රකාශයක්ද ඇතුළත් වන පරිදිය. – Aruna