පාස්කු ප්‍රහා­රයේ 273කට නඩු / තිස් දෙදෙනෙකුට මිනීමැරුම් චෝදනා

පුද්ගලයන් 359කට මරු කැඳවමින් 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම හා වළක්වා නොගැනීම සම්බන්ධව සැකකරුවන් 273 දෙනකුට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයන්ට අදාළව සැකසුණු ලිපි ගොනු 8ම මේ වන විටත් නීතිපතිවරයාට යොමු කර ඇතැයි පෙන්වා දුන් ඇමැතිවරයා එයින් පුද්ගලයන් 32කට ඍජුවම මිනීමැරීමේ හා ඊට කුමන්ත්‍රණය කිරීම් යටතේ  පාස්කු ප්‍රහාරයේ චෝදනා ගොනු කෙරෙන බවත් රැඳවුම්භාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින 241 දෙනකුටද පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කටයුතු කිරීම වෙනුවෙන් නඩු පැවරෙන බවද පෙන්වා දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව ‘යහපාලන‘ රජයේ ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙක්ම මෙන්ම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ම මෙහි ඍජු චූදිතයන් බවට පත්ව තිබෙනවා.

විශේෂයෙන්ම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නැඟී ඇති චෝදනා බරපතළ අපරාධ ගණයෙන් යුක්ත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇතැයි සදහන්.

එසේම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය පිණිස පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවද ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ලැබීමෙන් පසු එය පාර්ලිමේන්තුවට යොමු කර අදාළ සාක්ෂි විමර්ශනය කිරීම පිණිස නීතිපතිවරයාට යොමු කරනු ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු අයකුට නීතියේ රැහැනින් මිදෙන්නට ඉඩ ලබා නොදෙන බවත් තරාතිරම නොබලා අදාළ කටයුතු සිදු කෙරෙන බවත් අගතියට පත් වූ සියලු දෙනා වෙනුවෙන් පූර්ණ සාධාරණයක් සිදු කරනු ලබන බවද ඔහු සදහන් කළා.

පුවත යවන්න