පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දියාව ? හිටපු මන්ත්‍රීවරයකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බීබීසී සිංහල සේවය සමග ආන්දෝලනාත්මක අදහසක් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ තමන්ගේ විශ්වාසය අනුව මෙම ප්‍රහාරය පසුපස ඉන්දියාව රැදී සිටින බවයි.
මේ ඒ සම්බන්ධ පුවත බී බී සී සිංහල සේවය වාර්තා කර තිබූ ආකාරයයි. (උපුටා ගැනීම)

ජනාධිපති කොමිෂන් සභාවට පෙරාතුව විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් ද ප්‍රහාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබිණ.එම කාරක සභාවේ සාමාජිකයෙකු වූ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, “මගේ විශ්වාසයේ හැටියට මේක පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව,” යනුවෙනි.

වෛද්‍ය නලින්ද ජයතිස්ස විස්තර කරන පරිදි, ඔහු එම නිගමනයට එළඹ තිබෙන්නේ පහත දැක්වෙන කරුණු ඇතුළු විමර්ශනාත්මක සාක්ෂි ගණනාවක් පදනම් කරගෙනය:

  • හදිසි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශවලින් මුලින්ම තොරතුරු ලැබී තිබෙන්නේ 2019 අප්‍රේල් 04 වෙනි දිනය
  • කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද එක් ඉලක්කයක් බව එම බුද්ධි තොරතුරුවල කියැවිණ
  • ඒ අවස්ථාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වැඩි ආරක්ෂාවක් දෙන මෙන් ඉන්දියාව ඉල්ලීමක් කළේ ද, නොඑසේනම් එවැනි ආරක්ෂාවක් ලබා දුන්නේ දැයි පාර්ලිමේන්තු කමිටුව කළ විමසීමට ආරක්ෂක බලධාරීන්ගේ ප්‍රතිචාරය වූයේ ‘නැත’ යන්නය
  • 2019 අප්‍රේල් 08 වෙනි දින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ හදිසි එක් දින සංචාරයක නිරත විය
  • එදින ඔහු වෙනුවෙන් කිසිදු විශේෂ ආරක්ෂක විධිවිධානයක් යොදා නොතිබිණ
  • කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිඳ, ‘සාරා’ හෙවත් පුලස්තිනී ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාවට පලා ගොස් තිබේ. ඇය ඉන්දියාවට පලා ගියේ කෙසේද යන්න ද ප්‍රහේලිකාවකි
  • ඇය ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් නොතිබුණ අතර, ඉන්දියාව ද ඇය භාරදීමට සූදානම් බවක් නොපෙනේ
  • පොලිසිය මෙතෙක් ‘සාරා’ ගෙන් ප්‍රශ්න කොට නැති අතර, ජනාධිපති කොමිසම ද ඒ ගැන උනන්දුවක් නොදැක්වීය
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට නාමල් කුමාර නැමැත්තා කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇනහිටීම ද සැකයට තුඩු දෙන්නකි
  • එම “ඝාතන ප්‍රයත්නයට” සම්බන්ධ බව පැවසුනු ඉන්දීය ජාතිකයා මානසික රෝගියෙක් ලෙස පවසමින් මුදා හැර තිබේ
  • නාමල් කුමාර නමැත්තාගේ ඉහත කී ප්‍රකාශය යොදා ගනිමින් සහ්රාන් හෂීම් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පවත්වමින් සිටි විමර්ශනය නවතා දැමීම

බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස, “මේ වගේ දරුණු ප්‍රහාරයක් පිටිපස්සේ යුද තාක්ෂණයෙන් පරිපූර්ණ, හොඳ බුද්ධි තොරතුරු ජාලයක් වගේම හොඳ අත්දැකීම් තියෙන කණ්ඩායමක් ඉන්න ඕන. ඒත් සහ්රාන්ලට එහෙම ජාලයක් තිබුණ බවට කිසිම සාක්ෂියක් නෑ,” යනුවෙන් පැවසීය.

“ඒ වගේම සහ්රාන්ලට ආයුධ ගබඩාවක් තිබිල හොයාගත්ත කියල කිසිම තොරතුරකුත් නෑ.”

පුවත යවන්න