පාස්කු ප්‍රහාර ගැන තොරතුර තවත් එක් බුද්ධි තොරතුරක් !

බුද්ධි තොරතුරු පිළිබඳව සියලු වගකිව යුතු අංශ ඒකාබද්ධව සාකච්ඡා කර කඩිනමින් පියවර ගත්තේ නම් පාස්කු ප්‍රහාර මාලාව බොහෝ දුරට වළක්වා ගැනීමේ හැකියාවක් තිබූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සාක්ෂි ලබා දෙමිනි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් සිය රාජකාරිය පැහැර හැරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ අද සාක්ෂි ලබා දුන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතායි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂි මෙහෙයවීය.

රාජ්‍ය බුද්ධි අංශය විසින් 2019 අප්‍රේල් මස 9 වෙනි දින ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වෙත යොමු කළ එකී තොරතුර ඉහළ සිට පහළට යොමු කරන ලද තවත් එක් බුද්ධි තොරතුරක් බවට පත්ව තිබුණේ යැයි දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේ ය.

අන්තවාදීන් , ආගමික ස්ථාන හා ඉන්දියානු තානාපති කාර්යාලය මුල් කොටගෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධව තොරතුරු ඇතුළත් කර තිබුණ ද එම අන්තවාදී සැකකරුවන් ගේ ඡායාරූප කිසිවක් නොතිබූ හෙයින් තමන් ඇතුළු තම පහළ නිලධාරීන්ට සැකකරුවන්  දැක හඳුනා ගැනීමට අවස්ථාවක් නොවූ බව ද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසී ය.

පොලීසිය සතුව පවතින්නේ නිශ්චිත දිනයක් වේලාවක් සඳහන් කරන සිද්ධීන් වළක්වා ගැනීමේ හැකියාවක් පමණක් ද? එසේ නැති නම් විය හැකි යැයි පවසන දෙයක් සම්බන්ධයෙන් සොයා බලා වළක්වා ගැනීමේ හැකියාවක් පොලිසියට නැද්දැයි විනිසුරු මඩුල්ල සාක්කිකරුගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙම තොරතුර නිශ්චිත නොවූ බවයි.

අලුත් අවුරුදු නිවාඩු කාලය යෙදුන බැවින් ද 2019 ප්‍රේල් මස 18 වැනිදා සිට 21 වන දින දක්වා තමා නිවාඩු ලබා සිටි බැවින් ද පහළ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් සම්බන්ධව පසු විපරමක් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව ද සාක්ෂිකරු පවසා සිටියේ ය.

එවකට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හෝ  ඔහු යොමු කළ ලිපි පිළිබඳව තමාගෙන් පසු විපරමක් සිදු නොකළ බව ද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසී ය.(NF)

පුවත යවන්න