පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා මැදිහත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද ඉල්ලීමක් කළා.
මෙම ප්‍රහාරය පසුපස ඇති සත්‍යය සොයා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් සැලසුම් කිරීමට සහය වන ලෙසයි එතුමන් සිය ප්‍රකාශය මගින් දැනුම් දුන්නේ.
මෙම ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බව මුලින් ප්‍රකාශ වුවත්, ඉන් අනතුරුව සිදු වූ විමර්ශනවලදී එය මහා දේශපාලන කුමන්ත්රණයක කොටසක් බව අනාවරණය වී ඇතැයි ද කාදිනල්තුමන් පැවසුවා.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.
මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කළ, පාස්කු දින ප්‍රහාරයට අදාළ සාක්ෂි රැස්කිරීම ඉදිරියට කරගෙන යන ලෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවල්වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව කී කාදිනල්තුමන් එම අපරාධය සිදුවී වසර තුනක් යන තුරුත් එහි සත්‍ය හෙළිනොවීම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වූ අවස්ථාවක් බව ද සදහන් කළා.
කතෝලික සභාව මෙන්ම මේ පිළිබඳ සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලීම් කළ ද වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී ඇතැයි කාදිනල්තුමෝ සඳහන් කළා.
මෙම ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සහ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයන් දක්නට ලැබෙන බව කී කොළඹ අගරදගුරුතුමන් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරුදින සැබැවින්ම සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව තවමත් අඳුරේ සිටින්නට සිදුව ඇතැයි පැවසුවා.