පැන්ඩෝරා විමර්ශන: රන්ජන්ගෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක්, අතුරු වාර්තාව ජනපතිට

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළේ, එම විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.

තිරුකුමාර නඩේසන් මහතාගේ බැංකු කටයුතු සහ රාජ්‍ය ආයතන මගින් ලබා ගත් ලියිකියවිලි විමර්ශන කණ්ඩායම් අධ්‍යනය කරමින් ඇති බව ද, ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව, බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

ඒ රංජන් රාමනායක මහතා කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශ කළේ ය.

පුවත යවන්න