පිළිකා කාරක සහිත බව තහවුරු වූ පොල්තෙල් සාම්පල වැඩිදුර පරීක්ෂාවට යොමුකරයි

ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයේ සාම්පල වැඩිදුර පරීක්ෂාව සඳහා අද (27) තම ආයතනයට ලැබුණු බව කාර්මික තාක්ෂණ ආයතනය පවසනවා.

ඒ අනුව, ඊට අදාළ පරීක්ෂණ ආරම්භකර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර මහත්මිය සඳහන් කළා.

ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් 183,000 ක් අඩංගු බහාලුම් 13ක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් පසුගියදා හෙළිදරව් කරනු ලැබුවා.

කෙසේවෙතත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ තත්ත්ව පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ අදාළ සමාගම්වල ගුදම් වෙත පමණක් වන අතර පසුගිය මාර්තු 04 වනදා එම වාර්තා ලැබීමත් සමග ඒවා ප්‍රතිඅපනයනය කරන්නැයි එදිනම දැනුම් දුන් බවයි.

අදාළ තෙල් ආනයනය කළ සමාගම්වලින් පසුගිය සතියේ ලැබුණු අභියාචනා මත දෙවැනි වරටත් පරීක්ෂණ කිරීම සඳහා රජයේ පිළිගත් රසායනාගාරයක් වෙත යොමුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සඳහන් කළා.

ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ වාර්තා ද ලැබීමට නියමිතයි.

පුවත යවන්න