පුල්මුඩේ ඇතුළු ඛනිජ වැලි නිධි ව්‍යාපෘතියකට චීනය සමග සාකච්ජා

අමරිකානු ඩොලර් මිලියන 310ක (රුපියල් කෝටි 6045ක) ඛනිජ වැලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
චීනයේ මෙටලර්ජිකල් ගෲප් කෝපරේෂන් (China Metallurgical Group Corporation -MCC) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වැන්ග් ෂෝ (Wang Zhou) පසුගිය පෙබරවාරි 26 වැනිදා චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබුණා.

ශ්‍රී ලංකාවේ වයඹ දිග පුල්මුඩේ පිහිටි නිධි වැනි තවත් මුහුදු වැලි නිධි කිහිපයක්ම මේ වන විට හඳුනාගෙන ඇති අතර එම නිධිවල මොනසයිට් (Monazite) සහ ෂර්කෝන් (Zircon) අන්තර්ගත බවද එම ඛනිජ ද්‍රව්‍යවල පෘථිවියේ දුර්වල මූලද්‍රව්‍යයක් වන සීරියම් (Cerium) අන්තර්ගත බව විශ්වාස කෙරෙනවා.

මෙම මූලද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන රටවල් අතළොස්ස අතරට එක්වීම සඳහා මෙම නව ව්‍යාපෘතිය ඔස්සේ ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බවත්, පුනර්ජනනීය බලශක්තිය සහ ඉලෙක්ට්‍රෝනික වැනි නව තාක්ෂණික ක්ෂේත්‍රවලදී සීරියම් භාවිතය ඉහළ යමින් පවතින බව තානාපති කාර්යාලය පැවසුවා.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට සූදානම් වන මෙම චීන ආයතනය (MCC) දැනටමත් මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කිහිපයකටම සම්බන්ධ වී සිටින අතර කොළඹ වරාය නගරයේ තවත් ආයෝජන ව්‍යාපෘතිවලට සම්බන්ධ වන ලෙසද තානාපති කොහොන මෙහිදී MCC සමාගමට වැඩිදුරටත් ආරාධනා කර තිබුණා.

පුවත යවන්න