රටේ පොහොර හිගයක් පැවතියද පෞද්ගලික සමාගම් තමන්ගේ ගබඩාවල පොහොර රැස්කරගෙන සිටිනා බව අද හෙළි වුණා. ඒ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමක් කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික පොහොර සමාගම්වල හදිසි නිරීක්ෂණයකට පැමිණි අවස්ථාවේයි.
මේ අතරේ තහනම් කළ රසායනික පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙලෙස පොහොර තොගයක් පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රේගුවත් පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
රසායනික පොහොර ආනයනය හේතුවෙන් සිදුවන ආර්ථික බලපෑම අවම කිරීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීමේ අභිලාෂය ඇතිවයි රසායනික පොහොර ආනයනය පසුගිය අප්‍රේල් විසි හත් වනදා සිට තහනම් කෙරුණේ. ඒ සමග රටේ පොහොර හිගයක් ඇති බව පවසමින් ගොවි ජනතාව උද්ඝෝෂණ ක්‍රියාත්මක කළා. ඒ අවස්ථාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා පොහොර සමාගම් සමග සාකච්ඡා කළ අතර හැකි ඉක්මනින් පොහොර තොග මුදා හරින ලෙසට නියෝග කළා. ඒ පිලිබදව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුවත් කළා.
තවදුරටත් පොහොර හිගයක් පවතින බවට ගොවි ජනතාව උද්ඝෝෂණ සිදුකරන අවස්ථාවකයි පෑලියගොඩ සහ කැලණිය ප්‍ර දේශයේ ඇති පෞද්ගලික පොහොර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ අද පෙරවරුවේ නිරීක්ෂණය කළේ. රටේ පොහොර හිගයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පොහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින අයුරු නිරීක්ෂණය වුණා.
දෛනිකව මෙම පොහොර සමාගම්වලට මෙට්‍රික් ටොන් හයසියයක පොහොර නිකුත් කිරීමේ හැකියාව තිබියදී මෙට්‍රික් ටොන් තුන්සියක් වැනි අඩු ප්‍රමාණයක් නිකුත් කරන්නේ ඇයිදැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම නිලධාරින්ගෙන් ප්‍රශ්න කළා. තමා සමග පැවති සාකච්ඡාවේදී දිනකට මෙට්‍රික් ටොන් දහසක් නිකුත් කිරීමට පොරොන්දු වුවද එය මෙතෙක් සිදුවී නොමැති බවටයි අමාත්‍යවරයා චෝදනා කළේ.
මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ අවශ්‍ය පොහොර තොග නිකුත් නොකරන්නේ නම් රාජ්‍ය පොහොර සමාගම මගින් ඒවා බෙදා හැරීමට සිදුවන බවයි. අදාල තීරණ අනුව දින තුනක් ඇතුළත අවශ්‍ය සියලු පොහොර ගොවි ජනතාව වෙත ලබාදෙන ලෙසයි අමාත්‍යවරුන් මෙහිදී දැනුම් දුන්නේ. මෙලෙස ගබඩා කර ඇති පොහොර තොග නිකුත් කිරීමට ප්‍රමාද වන්නේ කුමන හේතුවක් නිසාදැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රශ්න කළා. එහිදී පොහොර සමාගම්වල නිලධාරින් සදහන් කළේ ප්‍රවාහන පහසුකම්වල හා කම්කරු ගැටලු පවතින බවයි.
එහිදී අමාත්‍යවරුන් සදහන් කළේ අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදීමට රජය සූදානම් බවයි. මෙලෙස පොහොර තොග නිකුත් නොකරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි අමාත්‍යවරුන් පොහොර සමාගම් නියෝජිතයින්ට දන්වා සිටියේ. මේ අතර රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් දස දහසක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එය මෙරට පෞද්ගලික සමාගමක් ආනයනය කර ඇති බවටයි රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී ප්‍රශ්න කෙරුණා.