බල අරගලය තුලනයක් වේවිද?

බලය යනු ධනය සමඟින් ඒ ළඟින්ම එන සාධකයකි. මේ දෙකම හිමි කර ගැනීමට අකමැති වන කිසිවකුත් නැත. මෙය පුද්ගලයන්ට පමණක් ඇතිවන ආශාවක් නොවේ. රටවල් වශයෙන් ගත් කළ ලෝකයේම බලවතා වීමට, ලෝකයම පාලනය කිරීමට, ලෝකයේම අංක එක වීමට බොහෝ රටවල් වෙර දරති. ඒ සඳහා ඇත්තේ ද විශාල තරගයකි. ලෝකයේ බලතුලනයට අදාළ වෙමින් සිදුවන බොහෝ සිදුවීම්වල පදනම වී ඇත්තේ මේ රටවල් අතර පවතින අරගලයයි.

මේ අරගලය හේතුවෙන්ම බොහෝ රටවල ඉරණම තීරණය වෙමින් පවතින්නේ එම රටවල බොහෝ වැසියන්ගේ ජීවිතද, ඇතැම් විට ආයුෂ ද තීරණය කරමිනි.

මේ බලය සඳහා වන තරගය ඈත අතීතය දක්වා දිව යන්නකි. එමෙන්ම නිමාවක් ද නොදකින්නකි. ලෝකය වටා සංචාරය කිරීම ආරම්භ වූ පසු මහා බ්‍රිතාන්‍ය බොහෝ රටවල් ම්ලේච්ඡ අන්දමින් අත්පත් කර ගත්තේ ලෝකෙට ලොක්කා වෙමිනි. එහෙත් පසුව ඇමෙරිකාව විසින් එම ස්ථානය අත්පත් කර ගත්තේ පෘථිවිය පුරා ලේ ගංගා ගලා යවමිනි. ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍යය පිහිටුවමින් රුසියාව තවත් බල කඳවුරක් ස්ථාපිත කළේ බලය හා සම්බන්ධ ගැටුම තවදුරටත් වර්ධනය කරමිනි.

වාමාංශික සහ දක්ෂිණාංශික වශයෙන් බෙදුණු මේ බල කඳවුරු දෙක හේතුවෙන් වෙනස් වීම්වලට ලක්වූ මිනිස් ජීවිත අප්‍රමාණය. බොහෝ රටවල් අනවශ්‍ය යුද්ධවලට මැදිවූ අතර අහිංසකයන්ගේ ලේ සහ කඳුළු ගංගා ගලා ගියේ තවත් කිසිවකු ලොව රජ කරවීමටය. තවත් කලක් ගිය පසු සමාජවාදය සමඟ රුසියාව ද බිඳ වැටුණේ පාළු ගෙදර වළං බිඳීමේ හැකියාව ඇමෙරිකාවට තනිව ලබා දෙමිනි. එහෙත් මේ තනි බලවතා වීමේ වාසනාව වැඩි කල් භුක්ති විඳීමට ඇමෙරිකාවට හැකියාව ලැබුණේ නැත. යෝධයකු මෙන් නැඟී සිටි චීනය වසර කිහිපයක් ඇතුළත තම බලය ලොවට පෙන්වා සිටියේ යම් යම් උපක්‍රම යොදමින් බොහෝ රටවල් තමන්ට පක්ෂපාත කර ගනිමිනි.

මේ වන විට මෙතෙක් ඇමෙරිකාව සතුව පැවති තනි බලය තවත් ප්‍රබල රටවල් අතර බෙදී යමින් පවතින බව පැහැදිලිය. ඒ අනුව ගෙවී යමින් පවතින මේ වකවානුව ලෝක ඉතිහාසයේ තවත් වැදගත් කාල පරිච්ඡේදයක් බවට සැක නැත.

තම බලය තහවුරු කර ගැනීමට වසර කිහිපයක් තිස්සේ අනවරත අරගලයක යෙදී සිටි ඇමෙරිකාව දැන් වඩා මැදිහත් ස්ථාවරයක් කරා එමින් පවතින බවක් පෙනේ. එය බොහෝ දුරට ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් විය හැකිය. චීනයට සාපේක්ෂව මේ වන විට ඇමෙරිකාව සතු වන්නේ හැකිළෙමින් පවතින ආර්ථීකයකි.

චීනයේ ආර්ථීකය දිනෙන් දින වර්ධනය වෙමින් තිබේ. ඒ ද මහා පරිමාණයෙනි. ලොව පුරා රටවලට ණය ලබා දෙමින් උපක්‍රමිකව රටවල් තම පර්ශ්වයට නතු කර ගැනීමට චීනය කටයුතු කරමින් සිටී. සැබවින්ම එය මීට දශකයකට හෝ දෙකකට පෙර ඇමෙරිකාව ක්‍රියාත්මක කළ විධි ක්‍රමයම ලෙසින් ද හඳුනා ගත හැකිය. එකම කාසියේ දෙපැත්ත ලෙසින් මේ රටවල් දෙකම හඳුනා ගත හැකි වුවද ඇතැම් අවස්ථාවලදී මේ රටවල් දෙක ක්‍රියාත්මක කරන විධි ක්‍රමවල යම් යම් වෙනස්කම් හඳුනාගත හැකිය.

උදාහරණයක් ලෙස ඇමෙරිකාව තම වාසිය උදෙසා ලොව බොහෝ ස්ථානවල ගැටුම් නිර්මාණය කළ අතර චීනය තම වාසිය උදෙසා ලොව ඇතැම් තැන්වල ගැටුම් සමථයකට පත් කිරීමට කටයුතු යෙදීය.

මේ කෙසේ වුවද සෑම දෙනාම එකසේ පිළිගන්නා සත්‍යය වන්නේ කිසිම රටකට තනිව පැවතිය නොහැකි බවයි.

එබැවින් මේ බල අරගලය තුළ නොනැසී සිටීමටත් බලඅරගලයේ වාසිය තමා වෙතට ලබා ගැනීමටත් සෙසු රටවල් දක්ෂ විය යුතුය.

කෙසේ වුවද ඇමෙරිකාව දැන් පවසන්නේ ඉදිරියේ ඇත්තේ බල තුලනයක් සහිත කාල වකවානුවක් බවයි. මේ පිළිබඳව සිදු කළ ප්‍රථම ප්‍රසිද්ධ ප්‍රකාශය පසුගියදා ඇමෙරිකා හමුදාවේ ප්‍රධානියකු වන ජෙනරාල් මාර්ක් ඇලෙක්සැන්ඩර් මිලී සිදුකර සිටියේය. ඔහු පැවසූවේ ඉදිරියේදී ලෝකයේ බලය ඇමෙරිකාව, රුසියාව සහ චීනය අතර බෙදී යනු ඇති බවයි.

සීතල යුද සමයේදී ඇමෙරිකාවට සිටි ප්‍රධානතම ප්‍රතිවාදියා වුවද සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු රුසියාව කිසියම් පසුබෑමකට ලක් විය.

එහෙත් යළිත් ආර්ථිකය ශක්තිමත් කරමින් ලෝක බලවතකුගේ මට්ටමට රුසියාව ගෙන ඒමට ව්ලැඩිමිර් පුටින් සමත් වූයේය. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස අයි.එස් සටන්කාමීන් සමඟ සිදු කළ සිරියානු යුද්ධය දැක්විය හැකිය. සැබෑව නම් අයි.එස් සටන්කාමීන් සිරියාවේදී පරාජය කරනු ලැබුවේ රුසියානු හමුදා විසින් බවයි. හැකි උපරිමයෙන් යුද්ධවලට දායක නොවී සිටීම චීනයේ උපායමාර්ගය බව පෙනේ. චීනය ඒ වෙනුවට යොදා ගනිමින් සිටින්නේ ආර්ථීක උපායමාර්ගයකි. යුද ගිනි ඇත්නම් ඒවා නිවීමට දායක වන චීනය තම ආර්ථීක සැලැස්ම ලෝකය පුරා එළීමට කළ හැකි සියල්ල කරන්නේය.

මේ ආර්ථීක සැලැස්මෙන් එයට ඇතුළත් වන රටවලටත් යම් සෙතක් සැලසෙන බව පෙනෙන අතර එසේ වීමට නම් එම රටවල පාලකයන් මේ චීන ආර්ථීක සැලැස්ම තම රටට හිතකර සේ යොදා ගැනීමට කටයුතු කළ යුතුය. එහිදී අනිවාර්යෙන්ම ණය උගුලට හසු නොවිය යුතුමය.

කෙසේ වුවද මාර්ක් මිලී පැවසු පරිද්දෙන්ම ලෝකයේ ඉදිරිය මේ බලවතුන් තිදෙනා අතර බෙදී ගොස් අවසන්ය. ඉදිරියේදී සිදුවීමට නියමිත බොහෝ සිදුවීම්වලින් වනු ඇත්තේ මේ බලවතුන් තිදෙනා අතර බල අරගලය අඩු වැඩි වීම පමණක් වනු ඇත.

එහෙත් නිසැකයෙන්ම එහිදී වැඩි පාඩු විඳ ගැනීමට සිදුවනු ඇත්තේ ඇමෙරිකාවටය.

ඒ සඳහා උදාහරණ ලෙස ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර ඇමරිකාවේ ගනුදෙනු සිදුවූ අන්දම සහ එහි ඉදිරි පියවර සලකා බැලිය හැකිය. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන අවස්ථාව වන විට චීනය ලෝක බලවතුන්ගේ ලැයිස්තුවේ සිටියේ නැත. එහෙත් ඉන් වසර විස්සකට පසු ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය හැර යන විට චීනය ඉදිරියට පැමිණ එරට ආර්ථිකය වර්ධනය කිරීමට ණය ලබා දීමට යෝජනා කරන්නේය.

ඒ ඇෆ්ගනිස්තානයේ හමුදා රැඳවීමෙන් තමන්ට ඩොලර් ට්‍රිලියන ගණනක අමතර බරක් දැරීමට සිදුවූ බවට ඇමෙරිකාව මැසිවිලි නඟනා අතරය. මේ උදාහරණය පෙන්වා දෙන්නේ ලෝක බලවතා වීමේදී ශක්තිමත් ආර්ථිකයක වැදගත්කම කොතෙක්ද යන්නය.

ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමේදී ඇමෙරිකාව යොදාගත් ඇම වූයේ පකිස්තානයයි. පකිස්තානයේ ස්වර්ණමය යුගය ලෙස දක්වමින් ඇෆ්ගනිස්තානය දක්වා හමුදා මෙහෙයවීමේ මධ්‍යස්ථානය බවට පකිස්තානය පත් කර ගත් ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ස්ථාපිත කර ගත් පසු පකිස්තානය අත්හැර යන්නේ එරට බංකොලොත් කරමිනි.

මේ බංකොලොත් පකිස්තානයට ණය ලබා දෙමින් එරට ආර්ථීකය පණ ගැහෙන තත්ත්වයකට ගෙන එන්නේ චීනයයි. එහෙත් එහිදී තමන්ට අවශ්‍ය සීමාවේ රැඳී සිටීමටත් ණය උගුලකට හසු නොවීමටත් පකිස්තාන පාලකයන්, විශේෂයෙන් අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළ බව සඳහන් කළ යුතුමය.

දැන් අත්හැරි ඇෆ්ගනිස්තානය සමඟ චීනය සම්බන්ධ වන විට ඇමෙරිකාව යළිත් පකිස්තානයට බැල්ම හෙළීමට කටයුතු කරමින් කරමින් සිටී. එහෙත් මේ බලවතුන් දෙදෙනා අතර සමබර වීමට තරම් පරිණත දේශපාලන දැනුමක් පකිස්තාන පාලකයන් සතුව පවතින බව අනුමන කළ හැකිය. එහෙත් මේ සියල්ල ලෝකයේ බලය ප්‍රබල රටවල් තුනක් අතර බෙදී යමින් පවතින බවට ලබා දෙන ඉඟි සුළුකොට තැකිය නොහැකිය.

තායිවානය සම්බන්ධයෙන් ද උද්ගත වෙමින් පවතින්නේ මෙවැනිම තත්ත්වයකි. තායිවානයේ ඇමෙරිකානු හමුදා රඳවා ඇති අතර චීනය අනෙක් පසින් තායිවානයට දැඩි දේශපාලනික බලපෑම් කරමින් සිටින්නේය. තායිවාන ජනතාව මෙන්ම හොංකොං ජනතාව ද ඉල්ලා සිටින්නේ මේ එකදු රටක හෝ පාලනයක් නොව ස්වාධීන රටකි. රටක් තවත් බලවත් රටකට පරාධීන වීමේ වේදනාව කොතරම්දැයි මේ රටවල ජනතාවගෙන් අසා දැන ගැනීම වටින්නේය. තම මවුබිම තුළ පිටස්තරයන් ලෙස ජීවත් වීම තරම් සිත් වේදනා දෙන අන් කිසිවක් නැත.

ඉදිරි දිනකදී චීන සහ ඇමෙරිකා ජනාධිපතිවරුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිතරවීමට සූදානම් වෙමින් සිටිති. බොහෝ විට මේ ලෝක බලවතුන් දෙදෙනා එක් පක්ෂයකට පැමිණීම නම් සිහිනයක් වන නමුත් අවම තරමින් දැනට පවතින වෙළෙඳ යුද්ධය පාලනය කර ගැනීමට හෝ පාලකයන් අතර එකඟතාවක් ඇතිවන්නේ නම් එය ද අස්වැසිල්ලක් වනු ඇත.

තම තමන්ගේ බලය තහවුරු කර ගැනීමේදී අවම වශයෙන් සෙසු රටවල ජනතාවගේ ජීවන අයිතිය හෝ තහවුරු කිරීමට බලවත් රටවල් සිතන්නේ නම් එය යහපත්ය. එහෙත් පසුගිය දිනවල ඇෆ්ගනිස්තානයේ සිදුවූ සිදුවීමේ පෙන්වා දෙන්නේ එය කිසිදා එසේ නොවන බවයි. එමෙන්ම මේ බල අරගලයේ යෙදෙන තෝරු මෝරුන්ගෙන් පීඩාවට පත්වන කුඩා රටවල අහිසංක ජනතාවට ලෝක බලවතා කවුරුන් වුවද එහි අමුතු වෙනසක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම එදිනෙදා ජීවිතය දුකක් නොමැතිව ගෙවීමටය. ඉන් ඔබ්බෙහි ඉදිරියට යන්නේ නම් කිසිදු බලවතකුට ගැති නැති ස්වාධීන රටක ජීවත් වීමය. – ටිරෝනි වෑවලගේ

පුවත යවන්න