බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ සිද්ධස්ථාන පිළිබඳ දුර්මත පතුරවන්නන් ගැන සෙවීමට කමිටුවක්

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

බෞද්ධ උපදේශක සභාව ඊයේ (19) පස්වරුවේ 09 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස  මෙම කමිටුව ස්ථාපිත කර ඇති බව සදහන්.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද, විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි යන ස්වාමින් වහන්සේ එහි සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ තිබුණා.

“ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. බෞද්ධ ප්‍රතිරූපකයෝ සහ වංචනික භික්ෂු ප්‍රතිරූපකයෝ බෞද්ධ මූලික ඉගැන්වීම් විකෘති කිරීමේ උත්සාහයක නිරතව සිටිති. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණය වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය.

දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයයි ද මහා සංඝරත්නය අවධාරණය කර තිබෙනවා.

සම්බුද්ධ ශාසනය සහ ත්‍රිපිටකය රැක ගැනීමේ මෙහෙවරේ නිරත භික්ෂුන් වහන්සේට මෙම දුර්මතධාරීහු සංවිධානාත්මකව නින්දා අපහාස එල්ල කරමින් සිටිති.

ඒ පිළිබඳව කණගාටුව පළ කළ මහා සංඝරත්නය සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන මේ වැඩපිළි‍වෙළ කෙරෙහි ද කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

ඇදහිලි හා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් කර තිබුණා.

ත්‍රිපිටකය රැක ගනිමින් සංරක්ෂණය කිරීම යනු අපගේ බෞද්ධ උරුමයත්, සංස්කෘතියත් ආරක්ෂා කිරීමයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමෙන් පමණක් එය සුරක්ෂිත නොවන බව පෙන්වා දුන් මහා සංඝරත්නය ත්‍රිපිටක සංරක්ෂණ පනත කඩිනමින් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

පුවත යවන්න