ඊශ්‍රායල-ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ගාසා තීරයේ සිට පළමු සිවිල් වැසියන් පිරිස රෆා දේශසීමාව හරහා ඊජිප්තුව තුළට පැමිණ තිබේ.
දරුණු ලෙස තුවාල ලැබූ පලස්තීනුවන් කිහිප දෙනෙකු ගිලන්රථවලින් රැගෙන ගිය අතර, වෙනත් රටවල ගමන් බලපත්‍ර හිමි 100කට වැඩි පිරිසක් බදාදා [දේශසීමාව] හරහා ගමන් කළහ.
කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සිදු වූ බව කියන එකඟතාවක් අනුව, තුවාල ලැබූ 80 දෙනෙකු පමණ සහ විදේශීය සහ ද්විත්ව පුරවැසියන් සිය ගණනක් ඉන් පිටව යනු ඇතැ යි අපේක්ෂා කෙරේ.
සති තුනකට අධික කාලයකට පෙර ගැටුම ආරම්භ වීමෙන් පසු එවැනි ඉවත් කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය යි. දේශසීමාව කොපමණ කාලයක් විවෘතව පවතිනු ඇති ද යන්න අපැහැදිලි ය.
ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා එය දැනටමත් දින 10කට වැඩි කාලයක් විවෘතව පැවතිණි. මේ වන විට ට්‍රක් රථ 200කට වැඩි ගණනක් දේශ සීමාව හරහා ගමන් කර ඇති නමුත් තවත් බොහෝ ආධාර අවශ්‍ය වේ.
රෆා මාරුව යනු කුමක් ද?
එය ගාසා තීරයෙන් පිටවීමේ දකුණු කෙළවර වන අතර ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපයට මායිම් වේ.
ගාසා තීරයට ඇතුළු වීමට සහ පිටවීමට ඇත්තේ තවත් දේශසීමා හරස් මාරු දෙකක් පමණි. ඉන් එකක් උතුරු ගාසා තීරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වන, මිනිසුන් සඳහා වන එරෙස් වන අතර, අනෙක දකුණු ගාසා තීරයට ඊශ්‍රායලය සමග වෙළෙඳ භාණ්ඩ හුවමාරුව සඳහාම වෙන්වුණු කෙරෙම් ශලෝම් නමැති සන්ධියකි. ඒ ද්විත්වය ම වසා දමා ඇත.
එය දැන් වැදගත් වන්නේ ඇයි?
ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස්හි තුවක්කුකරුවෝ, ඔක්තෝබර් 7 වන දා 1,300කට වැඩි පිරිසක් ඝාතනය කරමින් දකුණු ඊශ්‍රායලය වෙත එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරය අතරතුර එරෙස් මාරුවට ද ප්‍රහාර එල්ල කළහ.
දින කිහිපයකට පසුව, ඊශ්‍රායලය එරෙස් සහ කෙරෙම් ශලෝම් නැවත දැනුම් දෙන තුරු වසා දැමූ බව ප්‍රකාශ කළේ, මිනිසුන්ට තීරය තුළට සහ ඉන් පිටතට යාමට ඇති එක ම මාර්ගය රෆා මාරුව බවට පත් කරමිනි.
මානුෂීය ආධාර ලබා දීමට ඇති එකම දේශසීමා පිවිසුම් මාර්ගය ද රෆා මාරුව වේ.