බෝසතුන් බුද්ධත්වය ලැබුවේ හිරිවඩුන්නේ නොවේ/ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කියයි

බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ හිරිවඩුන්න ප්‍රදේශයේ බවට ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසනවා.
පුවත්පතකට සාකච්ජාවක් ලබා දෙමින් ඔහු පවසන්නේ , ලංකාව තුල එවැන්නක් සිදුවූ බව තහවුරු කළ හැකි කිසිදු පුරාවිද්‍යාත්මක හෝ සාධනීය සාක්ෂියක් නොමැති බවයි.

සම්පූර්ණ උපුටා ගැනීම

වසර ගණනක් පුරා බෝසතාණන් වහන්සේ මෙරට බුදු වූ බවට මිත්‍යා මතවාදයක් පැතිර යයි. බුදුන් වහන්සේ මෙරට බුදුවූ බවට මිත්‍යා මේ මතය පතුරුවන පිරිස මේ පිළිබඳව දැනුමෙන් අඩු පිරිසක් විය හැකියි, එසේ නැතිනම් දැනුම්වත්ව එහෙත් යටි අරමුණු ඇතිව මෙවැනි මිත්‍යා මතවාද පතුරුවන පිරිස් විය හැකියි. මෙය කුමනාකාර අරමුණුක් පෙරදැරිව ඇරඹියත් මෙහිදී සිදුවන්නේ මේ රටේ ඉතිහාසයටත් බුදු දහමටත් විශාල හානියකි. මෙය කිසිදු පදනම් විරහිත අවිද්‍යාත්ම අදහසකි. බුදුන් වහන්සේ යනු මේ මහපොළව මත බිහි වුණ ශ්‍රේෂ්ඨතම මිනිසෙක් මහ සත්පුරුෂයෙකි. උන්වහසේගේ ජීවත් වු බුදුවූ ප්‍ර‍ෙද්ශයන් පිළිබඳව ඓතිහාසිකව සනාථ කරගෙන ඇත. උන්වහසේ උත්පත්තිය බුද්ධත්වය පරිනිර්වාණය ප්‍රථම ධර්මදේශනය සියලු දේවල් පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරු කරගත් සාධක වෙයි.

ඒ අනුව පුරාණ දඹදිව මගධ රාජ්‍යයට අයත් ප්‍රදේශයක්වන මෙය වත්මන් ඉන්දියාවට සහ නේපාලයට අයත් ප්‍රදේශයක් බව අපි දනිමු. මේ තත්ත්වය වෙනස් කරමින් බුදුන් වහන්සේ මෙරට උපත ලැබූ බවට පිළිබඳව මිත්‍යා මතයක් පැතිරවීමට එක්තරා පිරිසක් යුහුසුළු ව කටයුතු කරයි. මේ අදහස සමහර විට අපේ රටේ ඉතිහාසය විකෘත කිරීම පමණක් නොව සමහරු මේ තුළින් පවිටු අදහස් දරාගෙන සිටින බව අපිට කිවහැකියි. එක් පැත්තකින් මේ අය බුදුන්වහන්සේ බුද්ධත්වයට පත් වූවායි කියන බෝධීන්වහන්සේ කිසිදු විශේෂතාවක් නැති සාමාන්‍ය බෝධි වෘක්ෂයක් බව දක්නට ලැබෙයි.

වජ්‍රාසනය නමින් හඳුන්වන ස්ථාන සාමාන්‍යයෙන් කළුගලින් කරන ලද මල් ආසනයක් යනුවෙන් පමණක් එහි දක්නට ඇත. මේ තුළින් මේ අය කරන්නේ අපේ ශ්‍රී මහ බෝධින්වහන්සේට අපහාස කිරීමකි. එම හිරිවඩුන්න ස්ථානය කිසිදු ආකාරයකින බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ස්ථානයක් නොවෙයි. ශ්‍රී මහ බෝධින්වහන්සේත්, දළදා වහන්සේත් මේ රටේ ඉතා වැදගත් බුද්ධාගම හා සම්බන්ධයෙන් ඇති ‍ඓතිහාසික සහ අතිශයින්ම පූජණිය වන්දනීය ස්මාරකයන් දෙක වෙයි. මේ ස්ථානයන්ට ඇති වන්දනීය ගෞරවනීය භාවයට මේ අය හානි කරන බව ඉතා පැහැදිලියි.

එමෙන්ම බුදුන්වහසේට කරන ලද අපහාසය මෙයින් පැහැදිලි වෙයි.

කිසිදු ඓතිහාසික මූලාශ්‍ර නැති ස්ථානයන් ගෙෞතම බුදුන්වහසේ චරිතයත් සමඟ සම්බන්ධ කිරීමෙන් ඒ අය අපේක්ෂා කරන්නේ බුදු දහමට නිගාවක් කිරීමයි. මේ සම්බන්ධ කිරීම නිසා ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැනි ඓතිහාසික බෝධින්වහන්සේට වඩා ගරු කටයුතු බෝධින්වහන්සේ නමක් වැඩම සිටින බවට සිතමින් ජනතාව තුළ ඓතිහාසික ශ්‍රී මහා බෝධින්වහවන්සේට ඇති ගරුත්වයට මඳකට හෝ හානි සිදුවීම මේ මඟින් සිදුවිය හැකියි.

මේ වැනි මිත්‍යා මත මෙරට තුළ පැතිර යාම වැළැක්විය යුතුයි. වසර කිහිපයක් පුරා මෙරට ආන්දෝලනයට පත් වූ මේ මිත්‍යා මතය බැහැර කළ යුතුයි. මේ මිත්‍යා මතය පැතිරවීමේ ඒකායන අරමුණ බවට පත්ව ඇත්තේ බුදුදහමට හානි කිරීමටයි.

ඒමෙන්ම ගෙෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වූයේ හබරණ හිරිවඩුන්න බෝධීන්වහන්සේ අදාළ බව බොහෝ කණ්ඩායම් විසින් මිත්‍යා මතයක් සමාජගත කිරීමට උත්සාහ කර ඇත. ඒ ස්ථානයේ තිබුණ මල් ආසනය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ වජ්‍රාසනය බවට ඇතැම්හු සඳහන් කරති. මෙරට සොළොස්මස්ථානය අටමස්ථානය බෞද්ධයන් සඳහා පුද පූජා කිරීමට සුදුසු බවට ‍ඓතිහාසිකව තහවුරු කරගෙන ඇත.

එමෙන්ම බෞද්ධ ඓතිහාසික මුලාශ්‍රය වූ මේ ස්ථාන ථෙරවාදි බුදු දහම මෙරට පැවැති බවට පුරාවිද්‍යාත්මකව තහවුරු වූ සාධක අනුව පැහැදිලි ‌ෙවයි. අපේ අනන්‍යතාවට මෙන්ම මේ ඓතිහාසික පූජණීය භූමි හානියට පත් කිරීමක් මේ මඟින් සිදු වෙයි.

මෙය සාම්ප්‍රදායකව අපේ මුතුන් මිත්තන් ගරු කරන ලද ස්ථානවලට අගෞරව කිරීම සඳහා සැලසුම් සහගතව සිදුකරන ලද කුමන්ත්‍රණයකි.

එමෙන්ම අපි සඳහන් කළයුතු කරුණක් නම් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන ලද මිහින්තලය පිළිබඳව සඳහන් කිරීමේදී එම ස්ථානය උන්වහන්සේ වැඩම කර ශ්‍රී ලංකාවේ බුද්ධාගම රැගෙන ඒමේ මූලික ස්ථානයයි. එමෙන්ම ලංකාවට බුදු දහම ප්‍රචාරය කිරීමේ මූලස්ථානය මිහින්තලයයි.

මෙමඟින් සිද්ධ වෙන්නේ මිහින්තලේ ඇති වැදගත්කම අවප්‍රමාණය වීමයි. එපමණක් නෙවෙයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව බුදුදහම ප්‍රචාරය කිරීමේ මූලාරම්භය සිදුවිය. මෙහිදී උත්සාහ කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කර බුදු දහම ප්‍රචාරය කිරීම අපිට අදාළ නොවන බවයි. අපේ ඓතිහාසික තොරතුරු ඉතිහාසයේ පුරා සියලු සිදුවීම් අපි හදාරනු ලබනුයේ මහා වංශයෙනි.

මහා වංශය මේ ලෝකෙ ඇති හොඳම වංශ කතාව ලෙසයි පුරා විද්‍යාඥයන් සලකනු ලබන්නේ. එවැනි මූලාශ්‍රයක් අපි හදාරනු ලබන්නේ මහා වංශයෙනි. එහි නැති බොරු පුවතක් මවාපාමින් පෙන්නුම් කිරීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ එම ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ සඳහන් මහාවංශයට අපහාස කිරීමකි. එනම් සිංහල ජාතිය සහ බෞද්ධාගම වෙනුවෙන් විශාල සේවයක් කළ මේ මහා කෘතිය අවප්‍රමාණයට ලක්කිරීමට මේ අය බලාපොරොත්තු වෙයි.

එපමණක් නොවෙයි මේ පිරිස් අතරින් සමහරු දළදා වහන්සේගේ අයිතිය පිළිබඳ කිසිම පිළිගත හැකි සාධකයක් නොමැති ව අයිතිවාසිකම් පිළිබඳව කතා කරයි. මොවුන් දළදා වහන්සේට ශ්‍රී මහා බෝධියට සහ අනිකුත් බෞද්ධ පූජනීය ස්ථාන අවප්‍රමාණයට ලක්කිරීම ඒ අයගේ බලාපොරොත්තුව විය හැකියි. ඉන්දියාව සහ ලංකාව සාමයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට බාධාවක් මෙමගින් අනිවාර්යෙන් සිදුවිය හැකියි. මේ අන්තවාදීන්ගේ මතවාදය නිසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෛරීය හැඟිම් ඇති කිරීමක් සිදුවිය හැකියි. මේ අයගේ අපේක්ෂාව එය විය හැකියි.

එලෙසම තවත් එක් කාරණයක් වන්නේ ලංකාවේ බිහිවුණු අන්තර්ජාතික වශයෙන් වඩාත්ම ප්‍රසිද්ධ පුද්ගලයා වන්නේ අනගාරික ධර්මපාලතුමන්ය. එතුමාගේ සිදු වූ විශිෂ්ට සේවය දඹදිව බුද්ධාගම නැවත නගා සිටුවීමයි. බුද්ධගයාව බෞද්ධයන්ට නැවත ලබාදීමයි.

මේ මහා මෙහෙවර පිළිබඳව අවතක්සේරුවක් මේ මගින් නිතැතින් සිදුවෙයි. බුදුන් වහන්සේ ඉන්දියාවේ (පුරාණ මගධ රාජ්‍යයේ ) නොමැතිව ලංකාවේ උත්පත්තිය ලැබුයේය යන මතය අපි පිළිගතහොත් එය ශ්‍රේෂ්ඨ ධර්මපාලතුමා හෑල්ලුවට ලක් කිරීමකි. එසේත් නැතිනම් අපහාස කිරීමකි.

පුරාවිද්‍යායකු වශයෙන්, ඉතිහාසඥයකු වශයෙන්, පූරාවිද්‍යාව හා ඉතිහාසය හදාරන්නකු වශයෙන් සහ මේ රටේ පුරවැසියකු වශයෙන් මම මේ පැතිරවීමට උත්සහා කරන කාරණාව ඉතාම දැඩිව ප්‍රතික්ෂේප කර හෙළා දකිමි.

එමෙන්ම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා යැයි පැවසෙන හිරිවඩුන්න යන ස්ථානය පිළිබඳ අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි. මෙම ස්ථානය අපි කැණීම් කර ඇති අතර මෙහි කිසිම විශේෂත්වයක් නැත. වසර ගණනකට පෙර මෑතකාලීන සිටුවන ලද බෝධි වෘක්ෂයක් සහ මල් ආසනයක් පමණක් එතැන ඇත.

එය අසලින් ගලාගෙන යන වැවෙන් එන දිය පාරක් දවෙයි. එම දිය පාර මේ අය නේරංජනා ගඟ ලෙස හඳුන්වයි. අවාසනාවන්ත විදිහට මේ අදහස් පිළිගන්න සමහරු මෙහි ඇත්තේ ශුද්ධ ජලය යැයි සලකා දරුවන්ට පානය සඳහා ලබා දෙයි. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවී ඇත.

ඒ මෙන්ම බුදුගල නම් ස්ථානයත් සමහර අය සලකනු ලබන්නේ බුදුන් වහන්සේගේ චරිතයට සම්බන්ධ ස්ථානයන් ලෙසයි.

එලෙසම තවත් පිරිසක් අම්පාරේ පිහිටා ඇති රජගලතැන්න රජගහනුවර ලෙසත්, මැදවච්චිය ප්‍රදේශයේ ඇති ඉසින්බැස්සගල ඉසිපතනේ ලෙසත් හඳුන්වයි. මේ සියලු අදහස් විකාර අදහස් වන අතර; කිසිම ඓතිහාසික පදනමක් නැති තහවුරු කළ නොහැකි හිතලු වෙයි. මේ සියලු ස්ථාන අනුරාධපුර යුගයට අයත් වෙයි. එපමණයි; එහි වැදගත් ඓතිහාසික වටිනාකම වන්නේ.

මේ රජගල, ඉසින්බැස්සගල, හිරිවඩුන්න, බුදුගල යන මේ ස්ථාන බෞද්ධ විහාරස්ථාන පමණයි. වර්තමානයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ලංකාවේ බුදුන්වහන්සේ පහළ වුණේ යැයි යන මේ අදහසට කිසිම විද්‍යාත්මක හෝ තාර්කික පදනමක් නැති බව පැහැදිලිව කිව යුතුයි. එය නිර්මාණය කරන ලද්දක් පමණයි. ඒ පිටුපස ඉන්නේ අඳබාලයන් සහ ජාති ද්‍රෝහීන් යැයි කිවයුතුයි.

පුවත යවන්න