භානුක ‘ඉල්ලා අස්වීම’ අස්කර ගනියි

තමන් තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනා බවත්, එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කරමින් භාර දුන් ලිපිය තමන් ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර බව භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබේ.

සිය තීරණය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා සිටින ඉදිරි පෙළ වමත් පිතිකරුවා තමන් ආදරය කරන ක්‍රීඩාවන වෙනුවෙන් ඉදිරි වසර කීපයේදී තම රට නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.

පවුල් ජීවිතයට මුල් තැනදීමට අවශ්‍ය නිසා ක්‍රිකට් පිටියට සමුදෙන බව සඳහන් කරමින් ජනවාරි මස 03 වැනි දින භානුක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිතව දන්වා තිබුණි. එම දැනුම් දීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද හදිසි තීරණය ගැන නැවත සලකා බලන මෙන් ප්‍රසිද්ධියේම ඉල්ලීමක් සිදු කිරීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සහ භානුක රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්විණ.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ තේරීම් කමිටුව සමඟ සිදුකරන ලද සාකච්ඡාවෙන් පසු සමුගැනීම පිළිබඳව තමන් ගත් තීරණය ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පුවත යවන්න