මසකට රට වහන්න / සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ?

ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් මාසයක්වත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර,දෛනික මරණ සංඛ්‍යාවද සියය ඉක්මවා ගොස් තිබේ.
ඉකුත් දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතී .
මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

පුවත යවන්න