මස් සහ චීස් හෙළි නොකළ ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයෙකුගේ වීසා අහෝසියි

20 හැවිරිදි මෙම තරුණයාගේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රය අවලංගු කර ඇති අතර ප්‍රකාශ නොකර අමු ඌරු මස් සහ චීස් කිලෝග්‍රෑම් එකකට වඩා ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට උත්සාහ කිරීම හේතුවෙන් ඔහුට ඩොලර් 3,300 ක දඩයක් නියම විය.

ඉහළ අවදානම් සහිත ආහාර නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට ගෙන ඒමේදී හසුවන පුද්ගලයන්ට දැන් දැඩි නව ජෛව ආරක්ෂණ නීතිවලට මුහුණ දීමට සිදුවන බවත් දඩ මුදල් ප‍්‍රමාණය වැඩි කරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවසීය.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට පැමිණි ස්පාඤ්ඤ ජාතික සංචාරකයෙකු තම ගමන් මලුවල මස් සහ චීස් ඇති බව ප්‍රකාශ කිරීමට අපොහොසත් වීමෙන් පසු පනවන ලද ජෛව ආරක්ෂණ නීති යටතේ දඩ නියම කළ පළමු පුද්ගලයා බවට පත්ව තිබේ.

මෙම පුද්ගලයා පසුගිය අඟහරුවාදා පර්ත් ගුවන් තොටුපළේදී නතර කර ගෙන පරීක්ෂා කළ බව වාර්තා විය.

ඔහුගේ ගමන් මලුවල අලෙවි කිරීමේ අරමුණකින් තොරව ගෙනා pork pancetta ග්‍රෑම් 275 ක්, ඌරු මස් ග්‍රෑම් 665 ක් සහ එළු චීස් ග්‍රෑම් 300 ක් පමණ තිබුණු බවත් ඒවා තම ගමන් මළුවල ඇති බව ඔහු ප්‍රකාශ නොකළ බවත් වාර්තා විය.

ඔස්ට්‍රේලියාව තුළට රෝග සහ පළිබෝධකයන් ඇතුළු වීම වැලැක්වීම සඳහා තහනම් කළ ද්‍රව්‍ය සමඟ හසුවන පුද්ගලයන් සඳහා මෙලෙස පනවන දඩ මුදල් ප්‍රමාණය මේ වන විට වැඩිකර ඇත.

මීට පෙර මෙම පුද්ගලයා මෙලෙස හසුවුවානම් ඔහුට ලැබෙන දඩය 2,664 කි.

වීසා අවලංගු වුවහොත් යළි අයදුම් කිරීම වසර තුනකට පසුව

මේ ආකාරයෙන් වීසා අවලංගු කරන ලද සංචාරකයින් තමන්ට ලබා ගත හැකි මුල්ම ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවෙන් ඉවත් කරනු ලබන අතර ඔවුන්ට නැවත ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කළ හැක්කේ වසර තුනක කාලයකින් පසුව විය හැකිය.

නව නීති මගින් සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීම වළක්වන්නේ නැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍ය Murray Watt, AAP ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

“මම හිතන්නේ සංචාරකයින්ගෙන් අතිමහත් බහුතරයක් නිවැරදි දේ කරන අතර ඔවුන් පැමිණෙන විට ජෛව ආරක්ෂණ අවදානම් අයිතම ප්‍රකාශ කරනවා. නමුත් මේ පුද්ගලයා නොකළේ එයයි,” ඔහු පැවසීය.
පුවත යවන්න