මැතිවරණයට විදයම් කිරිම ආර්ථිකයට අහිතකර නැහැ – මහාචාර්ය වසන්ත අතුකෝරල

මැතිවරණයකට වියදම් කිරීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවට ඉදිරිපත් වන තර්කය වැරදි තර්කයක් බව පවසන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කරුණු තුනක් පදනම්ව එය ආර්ථිකයට ධනාත්මකව බලපාන බව ද පවසයි.

මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක මුදලක් විදම් කළහොත් එම මුදල් රට තුලම සංක්‍රමණය වන බව පෙන්වා දෙන මහාචාර්ය වරයා එම මුදලින් එක් කොටසක් මැතිවරණ ක්‍රියාදාමයට එක්වන පිරිසට වැටුප් ලෙසත් තවත් කොටසක් මිලදී මිලදී ගැනීම් සඳහාත් එක් වන බැවින් රටේ නාමික දළ දේශීය නිෂ්පාදනය වැඩිවීමට හේතුවන බව පැවැසීය.

එසේම මැතිවරණ ක්‍රියාවලිය තුළ ඉදිරිපත්වන ඇතැම් අපේක්ෂකයන් තම ප්‍රචාරක කටයුතු සඳහා සිදු කරන වියදම් හේතුවෙන් රට තුළ සැඟව තිබෙන කළු සල්ලි නැවත රටේ ආර්ථිකයට ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ද ජේෂ්ඨ මහාචාර්ය වරයා පෙන්වා දෙයි.

එසේම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මෙන්ම මැතිවරණ ක්‍රියාකාරකම් සඳහා විදේශීය සංවිධාන, විදේශීය පුද්ගලයන් එසේම රාජ්‍ය නොවන සංවිධාන මැතිවරණ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා වැනි කටයුතු වලට විදේශීය මුදල් රට තුළට තුලට පැමිණීමේ හැකියාව තිබෙන බවත් ඔහු පැවැසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ බව අවධාරණය කළ මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .

“මැතිවරණ ක්‍රියාවළිය තුළ සිදුවන සමස්ත ක්‍රියාකාරකම් තුළින් මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු වනවා සේම ඔවුන් තුළ අපේක්ෂනයන් හැඩගැස්වීමට හේතු කාරණාවන් විය හැකියි. මේ වන විට ජනතාව තමන්ගේ ඉදිරි අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිත තත්ත්වයකයි සිටින්නේ . ආර්ථික විද්‍යාව තුළ ආර්ථික අපේක්ෂනයන් ගොඩනැගීම වැදගත් කාරණයක් වෙනවා . එම අපේක්ෂනයන් තුළිනුයි ආර්ථිකයක පිබිදීම කියන දේ ඇති වෙන්නේ.

ගිය වසරේ මුල් මාස 11 තුළ පමණක් රාජය භාණ්ඩාගාර බිල්පත් හා තීරණ පත් වලින් පමණක් රුපියල් බිලියන 10,000 කට වඩා වැඩි මුදලක් ලබාගෙන තිබෙනවා . එසේනම් රුපියල් බිලියන 10 ක් වියදම් කොට ඡන්දයක් තියනවා කියන එක අමාරු කාර්යයක් නොවේ .
මේ තුළින් රටට සිදුවන එකම අවාසිය වන්නේ රජයේ වගකීම රුපියල් බිලියන 10 කින් වැඩි වීමයි . මේ වන විට සමස්ත රටට රජයේ වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 26,000 ක් වෙනවා . එය තවත් රුපියල් බිලියන 10 කින් වැඩිවීම පමණයි සිදුවන්නේ.

මේ වන විට රටේ දේශපාලනයත් ආර්ථිකයත් සමාජයත් අස්ථාවර මට්ටමක තිබෙන බැවින් එම අස්ථාවරත්වයත් අවදානමත් මැතිවරණයක් තුළින් අඩු කිරීමට හැකියාව තිබේ නම් එමගින් රටට පැමිණෙන ඩොලර් ප්‍රමාණයේ වැඩිවීමත් එය රටේ ආනයන සහ අපනයන ක්‍රියාවලියට මෙන්ම විදේශ ප්‍රේශන සංචාරක ව්‍යාපාරය වැනි අංශ වලට ද බලපා හැකි බවද ජේෂ්ඨ මහාචාර්ය වරයා වැඩිදුරටත් පැවසීය.

ෂේන් සෙනෙවිරත්න – අද පුවත්පත

පුවත යවන්න