මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයි

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබි්‍ර, වෛද්‍ය රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය,  හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබි්‍ර රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩි වීරසිංහ, අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමති නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබිණි.

ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ වෙඩි ප්‍රහාරයකින් මියගිය අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කළහ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂට අයත් කුරුණෑගල පිහිටි නිවසකට ද ජනතාව ගිනි තැබූ බව වාර්තා විය.

එම නිවෙස්වල තිබූ රථ වාහන පවා පහරදීම් සහ ගිනි ඇවිලීම් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබිණි.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදුන් මැර කණ්ඩායම් ප්‍රවාහනය කළ බස් රථ ඇතුළු වාහන ගිනි තබමින් හා ඔවුන්ට පහර දෙමින් ජනතාව විරෝධය පළ කළ අතර බස් රථ ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් ගිනිබත් වී තිබිණි.

බස්නාහිර පළාත තුළ පමණක් බස් රථ ඇතුළු වාහන 97කට පහර දී ගිනි තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවත් වාහන ගනණාවක් අරලියගහ මන්දිරය අසල බේරේ වැවට ද තල්ලු කර තිබෙනු දක්නට ලැබිණි.

ඇතිවූ ගැටුම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් දෙදෙනකු, පොලිස් කැරලි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු අට දෙනකු මියගොස් ඇති අතර, 232 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී මරණයට පත්වූ අතර, වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුව තිබිණි.

ඉමදූව ප්‍රාදේශීව සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර  ද තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇත.

ඔහුගේ නිවසට පෙරේදා (9) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහිදී තුවාල ලබා ඇති සභාපතිවරයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මීට අමතරව අරලියගහ මන්දිරය අසල පෙරේදා (9) රාත්‍රියේ ඇතිවූ කලහකාරී තත්වය අතරතුර කඳුළුගෑස් ප්‍රහාරක අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරයකු මිය ගිය අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ආරක්‍ෂක අංශ සාමාජිකයකු ද වෙඩි වැදීමෙන් මියගොස් තිබිණි.

මීට අමතරව සිවිල් වැසියන් සිවු දෙනකු ද විවිධ ස්ථානවලදී ඇතිවූ ගැටුම්වලින් මියගොස් ඇත.

කොළඹ ජාතික රෝහලට පමණක් තුවාල ලැබූ 219 දෙනකු ඇතුළත් කර ඇති අතර, ඉන් පස් දෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

විරෝධතාකරුවන් පිරිසකගේ පහරකෑමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඇතිවූ තත්වය පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පෙරේදා (9) රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීමට ද ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබිණි.

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු රැසකගේ හා රජයට සහය දක්වන විවිධ පාර්ශවකරුවන්ගේ නිවෙස් ද විරෝධතාකරුවෝ පහරදී ගිනිබත් කළහ.

හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේනගේ අනුරාධපුර කුරුන්දන්කුලම කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා හෝටලයට, හිටපු අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමනගේ අනුරාධපුර ශික්ෂණ රෝහල අසල පිහිටි කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා හිටපු අමාත්‍යය ශෙහාන් සේමසිංහගේ අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි නිවසට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබිණි.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට අයත්, මහනුවර, ප්‍රිම්රෝස් උද්‍යානයේ පිහිටි සුවිසල් නිවස ද අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ අතර, හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණට අයත් ගාල්ල කිතුලම්පිටිය නිවසද ගිනි තබා විනාශ කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ  දඹුල්ල, යාපාගම පිහිටි නිවසට ගිනිතැබීම හේතුවෙන් එම නිවස හා එහි පිහිටි කාර්යාලයට දැඩි හානි සිදුව ඇත.

හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට අයත් පැල්මඩුල්ල, රිල්හේනේ පිහිටි නිවසේ ගේට්ටුව කඩාගෙන ඇතුළු වූ පිරිසක් එහි ජනෙල්වල වීදුරුවලට හානි කර තිබිණි.
මල්වානේ පිහිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට අයත් බව කියන නිවසට ද විරෝධතාකරුවෝ ගිනි තැබූහ.

හිටපු අමාත්‍ය චමල් රාජපක්‍ෂගේ තිස්සමහාරාම, මාගම ප්‍රදේශයේ පිහිටි නිවසට ද ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එයින් නිවසට දැඩි හානි සිදුව තිබිණි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් නිවසට මෙන්ම කාර්යාල, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන, බෝතල් ගබඩාවක්, මත්පැන් නිෂ්පාදනාගාරයක් ආදියට ද කුපිත වූ පිරිස් ගිනි තැබූහ.

ගාමිණී ලොකුගේගේ පිළියන්දල හොන්නන්තර නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, එහි තිබූ කැබ් රථ දෙකක් ඇතුළු දේපල රැසක් විනාශ වී තිබිණි.

මීට අමතරව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ පදනම ස්ථාපිත කර ඇති නාවලපිටියේ පිහිටි කාර්යාලයට ද කිසියම් පිරිසක් පහර දී තිබූ අතර, ඒ අසල ටයර් පුළුස්සා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි.

බේරුවල, පයාගල පිහිටි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට අයත් නිවසට ද ජනතාව එල්ල කළ ප්‍රහාරවලින් හානි සිදුවිය.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පල පිහිටි  නිවසට ද ප්‍රකෝපකාරී පිරිස් ගිනි තැබූ අතර එයින් එම නිවසට හා එහි නවතා තිබූ රථවාහන රැසකට හානි සිදුවිය.

අරලියගහ මන්දිරයටයාමට පැමිණි පිරිස් පැමිණි යතුරු පැදි 25ක් පමණ ද එම නිවස පිහිටි ඉඩමේ ගාල් කර තිබියදී විරෝධතාකරුවෝ ගිනිතබා විනාශ කළහ.

හිටපු අමාත්‍ය මොහාන් පී. ද සිල්වාගේ ගාල්ලේ පිහිටි නිවසට ගල් මුල් ප්‍රහාරයත් එල්ල වූ අතර, රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහගේ බෙන්තොට, හඹුරුගල පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් එහි තිබූ වාහනයකට ද ගිනි තබා විනාශ කර තිබිණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂගේ සෙවණගල, කිරිඉබ්බන්ආර, සමඟිපුර පිහිටි නිවසට ද කිසියම් පිරිසක් ගිනි තබා තිබූ අතර, ඉන් නිවසට දැඩි හානි සිදුවිය.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ කාර්යාලය පවත්වාගෙන යන අනුරාධපුර මහනගර සභා නිල නිවාසවල පිහිටි නිවසටද කුපිත වූ පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබිණි

මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම්ට මෙන්ම ඔහුගේ පපුතුට හා දියණියට අයත් පුත්තලම, වාන මාර්ගයේ පිහිටි නිවාස තුනකට ද ගිනි තබා ඇති අතර, එයින් රුපියල් කෝටි 50ක පමණ අලාභයක් සිදුව ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවූ බව පොලීසිය කියයි.

සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

මොරටුව නගරාධිපති, සමන් ලාල් ප්‍රනාන්දුගේ මොරටුවේ පිහිටි නිවසට ද ගිනි තබා තිබූ අතර, දඹුල්ල නගරාධිපති, ජාලිය ඕපාතගේ නිවසට මෙන්ම ඔහුගේ මවගේ සහ සොහොයුරාගේ නිවෙස්වලට ද කුපිත වූ ජනතාව ගිනි තබා තිබිණි.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාපති දිල්රුක් අබේකෝන්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ නිවාසවලට ද කුපිත වූ ජනතාව විසින් පහර දී තිබූ අතර, අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප්ට අයත් හෝටලයකට සහ හබරාදූව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් ගේ සංචාරක නිවස්නයකට ද පහර දී හානි කර ඇතැයි වාර්තා විය.

මහනුවර නගර මධ්‍යයේ ස්ථාපිත කර තිබූ ‘ගෝඨා ගෝ ගම’ ශාඛාවට ප්‍රහාරයක් එල්ල කළ මහනුවර නාගරික මන්ත්‍රී සංගීත් ද සිල්වාගේ බෝගම්බර පිහිටි නිවසට ද ප්‍රහාරයක් එල්ල විය.

අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාසගේ නිවසටද ගිණි තබා විනාශ කර ඇත.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත්ගේ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර නිවසට අලාභ හානී කර තිබිණි.

අනුරාධපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන කුමුදුණී ගුණසේනගේ අනුරාධපුර පරණ බස්නැවතුම අසල පිහිටි නිවසටද පහරදී ගිණි තබා තිබිණි.

අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසකගේ නිවෙස්වලට ද විරෝධතාකරුවෝ පහර දුන්හ.

අනුරාධපුර දේවාලයක් පවත්වාගෙන යන ඥාණා (ඥාණා අක්කා) නම් කාන්තාවගේ අනුරාධපුර අළුත් නුවර පාර පිහිටි නිවසට හා හෝටලයටද ගල් මුල් වලින් පහරදී ගිණි තබා විනාශ කර තිබෙන අයුරු දැක ගත හැකි විය.

ජනාධිපති ගෝඨාශය රාජපක්‍ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ දෙමාපියන් වන ඩී.ඒ රාජපක්‍ෂගේ සහ දන්දිනා රාජපක්‍ෂගේ මැදමූලන පිහිටි ස්මාරකයන් ද කඩා බිඳ දමා තිබෙනු දක්නට ලැබිණි.

ඇතැම් ස්ථානවල ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු ජනතාව පාලනය කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළහ.

මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යධූරයෙන් ඉල්ලා අස්නොවිය යුතු බව පවසමින් ඔහුට සහය පළ කිරීම සඳහා පෙරේදා (9) අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් සොයා ජනතාව ඇඳිරි නීතිය ද නොතකා රාත්‍රිය පුරා රටපුරා මාර්ගවල ගමන්ගත් වාහන පවා පරීක්‍ෂා කළහ.

ඔවුන් වාහන එකිනෙක නවතා පරීක්‍ෂා කරමින් අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් හමුවූ විට පහරදීම මෙන්ම එයට ජනතාව රැගෙන ගිය රථ සොයා පහර දී ගිනිතැබීම ද සිදුවිය.

පොලු, යකඩ බට ආදිය රැගෙන මාර්ගවලට පැමිණි විරෝධතාකරුවන් විවිධ ස්ථානවල දී මාර්ග අවහිර කිරීම හේතුවෙන් රැකියා හා දෛනික කටයුතුවලට ගොස් ආපසු නිවෙස් කරා පැමිණි ජනතාව දැඩි පීඩාවට පත්විය.

ගෝඨා ගෝ ගම සහ මටිනා ගෝ ගම බන්ධනාගාරවලින් රැඳවියන් ගෙන්වා තිබූ බව ද වාර්තා වූ අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණේ රැඳවියන් රැගෙන ගොස් තිබුණේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා බවයි.

මෙම සිද්ධීන් අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවට තොරතුරු ලැබීමත් සමඟ ජනතාව රට පුරා රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරනු ද දක්නට ලැබිණි.

මහින්ද රාජපක්‍ෂ (10) අළුයම වන තුරුත් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයේ රැඳී සිටි අතර, ජනතාව එය වටලා විරෝධය දක්වමින් ඒ තුළට පිවිසීමට උත්සාහ කිරීමේදී තත්වය සමනය කිරීමට ආරක්‍ෂක අංශ කිහිපවරක්ම කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේය.

අරලියගහ මන්දිරයේ රැය පහන් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක් (10) අළුයම හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට කැඳවාගෙන ගොස් ඇතැයි ද වාර්තා විය.
එම පුවත පළවීමත් සමඟ ජනතාව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලා විරෝධය පළ කරනු ද දක්නට ලැබිණි.

එමෙන්ම දේශපාලනඥයින් හා ඇතැම් දූෂිත නිලධාරීන් විදේශගත වනු ඇතැයි පැතිර යන ආරංචි හේතුවෙන් ජනතාව කටුනායක ගුවන් තොටුපලට පිවිසෙන මාර්ග අවහිර කරමින් එදෙසට ගමන් ගන්නා වාහනවල සිටින පිරිස් පරීක්‍ෂා කළහ.

පුවත යවන්න