පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 258කි.
එම පිරිසෙන් 67 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවත් තවත් 43 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතකර ඇති බවත් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇති තවත් පිරිසක් මේ වනවිට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාවෙන් ඇප ලබා ඇති පිරිස 206කි.
ඉන් පුද්ගලයින් 272ක් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ පොලිස් ස්ථාන විසින් සිදුකරනු ලැබේ.
ඔවුන්ට එරෙහිව නීතිවිරෝධී ජන රාශිය, පහරදීම, තුවාල සිදුකිරීම අනර්ථය දේපොළ විනාශ කිරීම් යන විවිධාකාරයේ චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරීමට නියමිතව ඇත.
මේ අතර අදාළ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 791ක් පමණ ලැබී ඇති අතර ඉන් පැමිණිලි 444ක් බස්නාහිර පළාතෙන් ලැබී ඇති අතර දකුණු පළාතෙන් පැමිණිලි 118ක් ලැබී ඇති පැමිණිලි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට පහරදීමේ චෝදනා මත 4 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.