වත්මන් රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සඳහන් කරයි.
කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් දක්නට නොමැති බවය.
“දැන් අවුරුදු 3ක් ඉවර වෙන්නට යන කාලය වෙනකොට මේතාක්දුරට යුක්තියක් ඉෂ්ඨ වුණා කියලා අපිට කොහොමටවත් පිළිගන්න බෑ. ජනාධිපති කොමිෂන් සභාවේ දුන්නු සාක්ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා. ඒ වෙළුම් කිහිපය ඉල්ලලා අපි ලිපි යවලා තියෙනවා. ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව සාක්ෂි සඟවා තැබීමට ඉස්සෙල්ලා හිටිය රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරලා තියෙනවා. දැන් සිදුවෙන්නේ නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා ඒ යුක්තිය ඉෂ්ඨ නොවන තත්ත්වයකට පත්වීම.”
“මේ රජය අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නෑ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන එය වළක්වන්නට කටයුතු නොකළ රාජ්ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබාදීලා මේක විහිළුවක් කරලා.”
“කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයොත් නැතුව, ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒක එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ.”