මෙතෙක් කල් පවුල් රජ කරන ආණ්ඩු හැදුණත් මෙවර එය වෙනස් වෙනවා – අනුර කුමාර දිසානායක

මෙතෙක් කල් පවුල් රජ කරන ආණ්ඩු හැදුණත් මෙවර ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ එය වෙනස් වෙන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඔහු මෙලෙස අවධාරණය කළේ ‘රුහුණ පෙරට – රට අනුරට’ යනුවෙන් මාතරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණය සඳහා වන මහ රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක,

“මෙතන ඉන්න බොහෝ දෙනා මීට කළින් ඡන්ද දැක තියෙනවා. ඡන්දය දී තිබෙනවා. ආණ්ඩු හදා තිබෙනවා. ආණ්ඩු පෙරළා තිබෙනවා. හැබැයි මේ සැප්තැම්බර් 21 දිනට එළැඹිලා තිබෙන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරන ඡන්දයයි. මේ මාතර නගරය පිරෙන්න තරම් ජනතාව අද එකතුවෙලා කියන්නේ මොකක්ද? සැප්තැම්බර් 21 ජයග්‍රහණය සහතිකයි කියලා. මේ සතියේ ඇතිවූ සිදුවීම් ටිකම ඇති අපේ ජයග්‍රහණය ස්ථිර වෙන්න. හැබැයි අපි දිනලා විතරක් මදි. ජාතික ජන බලවේගය බලය ගන්නේ මේ කඩා වැටුණු රට හදන්නයි.

ලෝකයේ දුප්පත්කම නැති රටක් බවට මේ රට පත්කරන්න ඕනෑ. ලෝකයේ පිළිගත් රටක් බවට මේ රට පත්කරන්න ඕනෙ. මේ පාලකයෝ මේ රට අපරාධවලින්, ණයවලින් පිරුණු රටක් බවට පත් කළා. ගොවි, කම්කරු, ධීවර ජනතාවට කිසිවක් ඉතුරු නොකරපු රටක් බවට මේ රට පත් කළා. ව්‍යාපාරිකයින්ට ණය ගෙවා ගන්න බැරි රටක් කළා. දරුවන්ගේ අනාගතය, අධ්‍යාපනය වනසපු රටක් බවට මේ රට පත්කළා. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ හපයක් බවට පත් කරලා තියෙන රට ගොඩනැගීමටයි. රට හදන පළමු පියවර දේශපාලන පොර පිටිය ශුද්ධ කිරීමයි. වැඩිය ඕන නැහැ 2019 පොහොට්ටු වේදිකාවෙ කථා කරපු ඩලස් අද 2014 සජිත්ගේ වේදිකාවේ කථා කරනවා. එයා මේ දෙපැත්තේ ඉඳන් කියපු සහ කියන කතා ටිකම ඇති මේ මජර දේශපාලනය වෙනස් කළ යුතුයි කියන තීරණය ගන්න. එයාලා මේ තීරණ ගන්නේ මේ රට හදන්නද? ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගොඩවෙන්නෙ කොහොමද කියලා හිතලා. රට ගැන රටේ අනාගතය, රටේ දියුණුව ගැන හිතන කෙනෙක් ඉන්නවා නම්, එයා සජිත්ගේ වේදිකාවට නගියිද? අපේ රටේ තියෙන්නේ ගෙඹි දේශපාලනයක්. රාජිත සේනාරත්න 1987 ඉඳන් එහෙට පනිනවා. මෙහෙට පනිනවා. මතක තියාගන්න අපේ ආණ්ඩුවක් ආපසු මේ පනින දේශපාලුවන්ගේ මන්ත්‍රීකමත් අහෝසි කරන නීති අපි ගේනවා.

ජනාධිපතිගේ සිට සියලු දෙනා නීතියට යටත් පාලනයක් අපි ගොඩනඟන බවට සහතික වෙනවා. මේ දේශපාලනය නාස්තියෙන් පිරී තිබෙනවා. මේ රටේ ජනාධිපතිලාගේ, ඇමතිලාගේ, ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්වලදී ඇම්බියුලන්ස් එකකුත් පිටිපස්සෙන් යනවා. මේ අය ලෙඩ්ඩු. මේ නාස්ති කරන්නේ ජනතා මුදල්. මේ අය රට පාලනය කිරීමට සුදුස්සොද? සැප විඳිමින් සිටින පාලකයන්ගේ සියලු වරප්‍රසාද අහිමි කරනවා. ඇමතිවරු පැටව් ගහන එකයි ඔවුන්ට වරප්‍රසාද ලබා දීමයි අපි වහාම අහෝසි කරනවා. විද්‍යාත්මක පදනමක් මත ඇමතිකම් වෙන්කරන ක්‍රමවේදයක් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ස්ථාපිත කරනවා. ඔය එහෙට මෙහෙට පනින සමහරු ඊට පෙර අපේ දොරටත් තට්ටු කළා. අපි දොර ඇරියා. පැටිගිරිය හොඳ නැති නිසා අපි ආපහු දොර වැහුවා. අද අපේ රටේ ප්‍රතිපත්තිගරුක එකම දේශපාලන ව්‍යාපාරයයි තිබෙන්නේ. ඒ ජාතික ජන බලවේගයයි. අපි දොරටු විවෘත කළේ එ.ජා.ප.යේ, පොහොට්ටුවේ, ස.ජ.බ.යේ හිටිය සාමාන්‍ය ජනතාවටයි.

අරක්කු මුදලාලිලා දෙන්නෙක් විතරක් කෝටි 664ක් බදු ගෙවල නැහැ. ඇලෝසියස් මුදලාලි එක්කෙනෙක්, ජොන්ස්ටන් තව එක්කෙනෙක්. තව එක්කෙනෙක් තමයි සජිත්ගේ වේදිකාවට නැග්ග ලක්ෂ්මන් වසන්ත පෙරේරා. මේ ගොල්ලෝ අරක්කු පැක්ටරිවල අයිතිකාරයෝ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අරක්කු පැක්ටරිවලින් අය කරගත යුතු බදු සියල්ල අයකර ගන්න බව මතක තබා ගන්න. සාමාන්‍ය දරුවගේ ඇක්සයිස් පොතට බදු ගහනනවා, දුප්පතාගේ බෙහෙත් පෙත්තට බදු ගහනවා. ඇලෝසියස්ලගෙ බදු අය කරගන්නේ නැහැ. එහෙම තමයි මේ ගොල්ලෝ මෙතෙක් රට පාලනය කළේ. එහෙම තමයි රට අගාධයට ඇදගෙන ගියේ.

අපේ රටේ ඖෂධ නිෂ්පාදනය සඳහා වැඩපිළිවෙළක් අපි හදා තිබෙනවා. අඩු මිලට බෙහෙත් දෙන්න, සෞඛ්‍ය සේවාව නඟා සිටුවන්න පුළුවන්. මෙච්චර කාලයක් ආණ්ඩු හැදුනෙ රට හෝ ජනතාව නංවාලන්න නොවෙයි; ඒගොල්ලෝ හැදෙන්න. ජනතාව දුප්පත් වුණා. මහින්ද යාපලා, මහින්ද විජේසේකරලා පොහොසත් වුණා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ සැලැස්ම තමයි රටත් පොහොසත් කරලා ජනතාවත් පොහොසත් කරන එක. ජනතාවට වංචා, දූෂණ නැති හොරු නැති ආණ්ඩුවක් ඕන නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අධ්‍යාපන, සෞඛ්‍යය නංවාලන ආණ්ඩුවක් ඕනෙ නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. රටත් ජනතාවත් ලස්සන කරන ආණ්ඩුවක් අවශ්‍ය නම් ඒක තමයි මාලිමාවේ ආණ්ඩුව. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නේ මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක්. මෙතෙක් කල් හැදුනෙ පවුල් රජ කරන පවුලේ ආණ්ඩු. අපි ඒක වෙනස් කරමු. එකතු වෙමු. ජය ගනිමු.”

පුවත යවන්න