ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙනවා.
එහි දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක ඊයේ (03) දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ වෙත එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් එලෙස නීතිමය පියවර ගැනීමට නියමිත බවයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී අනුර කුමාර දිසානායක එම චෝදනා එල්ලකර තිබුණි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ, යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් අසත්‍ය හා ජනතාව නොමඟ යවනසුළු ප්‍රකාශ සිදුකර ඇති බවයි.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායකට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතිඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවද එම නිවේදනයේ සදහන්.
එකී අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද සඳහන් කර තිබුණි.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එකී මාධ්‍ය හමුවේදී එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර තිබුණේ එම ප්‍රකාශ සම්බන්ධයෙන් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
අනුර කුමාර දිසානායක මහතා චෝදනා එල්ල කළ තවත් පුද්ගලයෙක් වන්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්.
ඔහුට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දී තිබුණේ අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.