රුසියානු ආක්‍රමණයකදී යුක්‍රේනයට පූර්ණ සහාය / යුරෝපා සංගමය කියයි

යුක්‍රේන දේශසීමාවට රුසියානු හමුදා කැදවීම හා බර අවි ස්ථානගත කිරීම පිළිබද යුරෝපා සංගමය විරෝධය පළකර තිබෙනවා.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී, ජෝශස් බොරෙල් මේ බව සදහන් කළේ, යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සමග දුර්කථන සංවාදයකින් පසුවයි.
රුසියානු ආක්‍රමණයකදී යුක්‍රේනයට කොන්දේසි විරහිත සහාය ලබා දෙන බවද ඔහු මෙහිදී අවධාරණය කළා.
මේ වන විට යුක්‍රේනයේ ඩොන්බෑස් ඇතුළු කළාප 3ක රුසියානු හිතවාදී කැරලි කණ්ඩායම් ක්‍රියාත්මක වනවා.
එම කලාපය සම්පූරණයෙන්ම අත්පත් කර ගැනීමට රුසියානු හමුදා සූදානමින් සිටින බවයි යුක්‍රේන රජය චෝදනා කරන්නේ.
2014 වසරේදී මීට සමාන හමුදා කැදවීමක් සිදුවූ අතර එහිදී යුක්‍රේනයේ ක්‍රිමියා කළාපය තමන් සතු කර ගැනීමටයි රුසියාව කටයුතු කළේ.
එවන් තත්ත්වයකට රුසියාව යළිත් සූදානම් වන බවයි අමෙරිකාව ද පසුගියදා චෝදනා කළේ.
ඒ අනුව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළහොත් යුක්‍රේනයට සම්පූර්ණ සහාය දක්වන බවයි අමෙරිකාව ද අවධාරණය කළේ.
මේ යටතේ නේටෝ හමුදා සහාය එරටට ලබාදීමට නියමිතයි.
කෙසේ වෙතත් රුසියාව පවසන්නේ බටහිර හමුදා යුක්‍රේනයට ඇතූළු වුවහොත් එය එරට අවසානය වීමට ඉඩ ඇති බවයි.

පුවත යවන්න