රුසියාවේ තවත් යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයේ දී පරදියි

රුසියාවේ සිට ජර්මනිය දක්වා වූ නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල මාර්ගයේ පිපිරීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා රුසියාව විසින් කෙටුම්පත් කරන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සඳුදා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බරයේ බෝල්ටික් මුහුද යට සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් බටහිර රටවල් රුසියාවට චෝදනා කළ අතර බටහිර රටවල් විසින් නල මාර්ගයේ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කළ බවට ක්‍රෙම්ලිනය චෝදනා කළා.

මෙම යෝජනාවට අදාළව ආරක්ෂක මණ්ඩලයේ දී ඡන්ද තුනක් ලැබුණු අතර, චීනය සහ බ්‍රසීලය රුසියාවට ලබාදී තිබුණා.
ආරක්ෂක මණ්ඩලයේ අනෙක් සාමාජිකයින් 12 දෙනා ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා.

ගෑස් නල මාර්ගයේ කඩාකප්පල්කාරී ක්‍රියාවේ සියලු අංශ, එහි අපරාධකරුවන්, අනුග්‍රාහකයින්, සංවිධායකයින් සහ සහචරයින් හඳුනා ගැනීම ඇතුළුව,පුළුල්, විනිවිද පෙනෙන සහ අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම, සඳහා කොමිසමක් නිර්මාණය කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

රුසියාව ප්‍රකාශ කළේ ස්වීඩනය, ජර්මනිය සහ ඩෙන්මාර්කය විසින් දියත් කරන ලද පරීක්ෂණවලින් තමන් ඉවත් වූ බවයි.

“ඇතැම් යුරෝපීය රාජ්‍යයන් විසින් පවත්වනු ලබන ජාතික විමර්ශනවල විනිවිදභාවය පිළිබඳව අපට බරපතල සැකයක් තිබේ” යැයි රුසියානු නියෝජිත වාසිලි නෙබෙන්සියා මෙහිදී ප්‍රකාශ කළා.

“මම හිතන්නේ අද ඡන්ද විමසීමෙන් පසු නෝර්ඩ් ස්ට්‍රීම් කඩාකප්පල්කාරී ක්‍රියාව පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලියි” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. – අමල් අල්මේදා

පුවත යවන්න