රාජසිංහ රජ සමයේ එනම් 17 වැනි සියවසේ දී මෙරටින් වඳ වී ගොස් ඇති ගවරා ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වා දීමේ සූදානමක් පවතින බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
එම වාර්තා අනුව ගවරා (Gaur) නොහොත් ඉන්දියානු බයිසන් නමැති මෙම ගව විශේෂයේ සත්වයන් 06 දෙනකු ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස අගෝස්තු මස මුලදී ශ්‍රී ලංකා පාර්ශ්ව විසින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික ක්‍රියාකාරි කමිටුවක් මෙම සත්ත්වයන් නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙන් පත් කිරීමටද ශ්‍රී ලංකාව යෝජනා කර ඇත.
බොස් ගවුසර් (bos gaurus) නම් විද්‍යාත්මක නාමය ඇති ගවරා (Gaur) යනු ලොව විශාලතම ගව විශේෂයකි. 1986 වසරේ සිට සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය (IUCN) විසින් මෙම සත්ත්වයා වඳවීමේ තර්ජනයට ලක් වූ විශේෂවල රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
වසර 30000කට පමණ පෙර සිට ශ්‍රී ලංකාවේ ගවරා ව්‍යාප්තව සිට ඇතැයි සැලකේ. ගවරා මෙරට අවසන් වරට වාර්තා වී ඇත්තේ 17 වැනි සියවසේ අගභාගයේ මහනුවර දෙවැනි රාජසිංහ රජුගේ සත්ත්ව ගාලෙනි.