ලංකාවේ ආසාදිතයන්ට ඉන්දියානු කොරෝනා ප්‍රභේදයේ ලක්ෂණ / හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන්

මේ වන විට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් පෙන්වමින් සිටින්නේ ඉන්දියාවේ රෝගීන් පෙන්වන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ බව හෝමාගම කොව්ඩ් මර්ධන රෝහලේ කායික රෝග පිළිබඳ වි‌‌‌ශේෂඥ වෛද්‍ය එරංග නාරන්ගොඩ මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ,කොරෝනා ආසාදිත රෝගීන් වෛරසය ශරීරයට ඇතුළු වී දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත නියුමෝනියා තත්වයට පත්වීමේ අවදානමක් පවතින බවයි.

ඒ අනුව ඔවුන් නියුමෝනියා තත්වයට පත් වූ පසු බොහෝ විට ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සිදුවන්නේ ස්වසන ආධාරක වලට සවිකොට ඔක්සිජන් ලබා දෙමින් බවද වෛද්‍ය එරංග නාරන්ගොඩ මහතා පවසනවා.

මේ වන විටත් හෝමාගම රෝහල තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් හතරෙන් එකකට පමණ කෘතීම ස්වාසනාධාරක යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබාදීමට සිදුව ඇති බවත් වෛද්‍යවරයා අනාවරණ කළා.

බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වීම වර්තමානයේ ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදයෙහි තත්වය බවත් මද උණ ගතිය, සියුම් ඇඟපත වේදනාව සහ කෑම අරුචිය වැනි තත්වයන් රෝග ලක්ෂණ ලෙස මතුවන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් එලෙසින් සුළු රෝග ලක්ෂණ පෙන්වුවද පෙනහළුවලට ඇතුළුවන වෛරසය,පෙනහළු අසාදනය කොට නියුමෝනියා තත්වයක් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

කොරෝනා මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයන් ද අසාධිතයින් අතර සිටින බවයි ඔහු මෙහිදී තහවුරු කළේ.

පුවත යවන්න