ලංකාවේ මැණික් පොකුර ගිනස් වාර්තා පොතට

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 500කට අධික බරැති තරු නිල් මැණික් පොකුර, ලොව විශාලතම තරු නිල් මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත් කර තිබෙනවා.

මැණික් සහ ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ලොහාන් රත්වත්තේ පැවසුවේ, ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab විසින් තරු නිල් මැණික් පොකුරක් ලෙස සහතික කිරීමෙන් පසු මෙම පොකුර ගිනස් පොතේ ලියාපදිංචි කළ බවයි.

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයේ නිවසක ළිඳක් හාරමින් සිටි කම්කරුවන් පිරිසක් විසින් මෙම තරු නිල් මැණික් පොකුර සොයා ගනු ලැබුවා.

කිලෝග්‍රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක් පමණ බරැති මෙම පොකුර “Serendipity Sapphire” ලෙස නම් කර තිබෙනවා.

දැනට ස්විට්සර්ලන්තයේ පවතින මැණික් පොකුර ,ක්‍රිස්ටි වෙන්දේසියේදී වෙන්දේසි කර එහි උපරිම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා එක්සත් රාජධානියට රැගෙන යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර, ශ්‍රී ලංකාවෙන් සොයාගත් ලොව විශාලතම ස්වභාවික කොරන්ඩම් නිල් මැණික් වර්ගය වන ‘ආසියාවේ රැජින’ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පිරිනැමීමට කටයුතු කළ ඩුබායි සමාගම සමඟ ශ්‍රී ලංකාව තවමත් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළා.

ඇමෙරිකානු ඩොලර් මිලියන 100ට වැඩි අගයක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ජාව ක්‍රියාත්මකයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ බටුගෙදර ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 310 (කැරට් 1,550,000) බරැති නිල් මැණික සොයා ගන්නා ලද අතර එය 2021 දෙසැම්බර් මාසයේදී අනාවරණය කෙරුණා.

පුවත යවන්න