ශ්රී ලංකා මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු හා යාත්රා දෙකක් උතුරේ ධීවරයින් රඳවාගෙන නාවික හමුදාවට භාර කළ පසු කන්කසන්තුරෙයි පොලීසියට භාර දී තිබෙනවා.
ඊයේ රාත්රියේ මෙම ඉන්දීය ධීවර යාත්රා ශ්රි ලංකා මුහුදට ඇතුළු වී සිටියදී මෙරට ධීවරයින් විසින් වටකර රඳවා ගැනීමෙන් පසු මෙසේ නාවික හමුදාවට භාරදී ඇතැයි සදහන්.
ඉන්දීය ධීවරයින් ශ්රී ලංකා මුහුදට ඇතුළු වී දිගින් දිගටම සිදුකරන නීතිවිරෝධී ක්රියා වළක්වන්නැයි බලකරමින් උතුරු පළාතේ ප්රදේශ කිහිපයක මේ දිනවල විරෝධතා සිදුකරමින් පවතිනවා.
ඊයේ රාත්රි 11 ට පමණ පේදුරුතුඩුවට නුදුරින් ශ්රී ලංකා මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්රා දෙකක් ශ්රී ලංකා ධීවරයින් විසින් වට කරනු ලැබුවේ, මෙම විරෝධතා පැවැත්වෙන අතරවාරයේයී.
අනතුරුව ඉන්දීය ධීවර යාත්රා දෙක හා ඉන්දීය ධීවරයින් 21 දෙනා නාවික හමුදා භාරයට ගෙන කන්කසන්තුරේ පොලීසියට භාර දුන් බව නාවික හමුදා ප්රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා ප්රකාශ කළා.
මේ අතර යානපය වඩමාරච්චි ප්රදේශයෙන් මුහුදුගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ මරදන්කනී වෙරළේ තිබී සොයාගෙන තිබෙනවා.
උතුරේ ධීවරයින් චෝදනා කරන්නේ මෙම ශ්රී ලංකික ධීවරයින් දෙදෙනාගේ මරණයට ඉන්දීය ධීරයින්ගේ ක්රියාකාරකම් හේතුවන්නට ඇති බවයි.