“ලබන වසරේ තවත් ආර්ථික විපතක්” – මහාචාර්ය ජනක් කුමාරසිංහ

ඉදිරි වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවා තිබෙන බවත් ඉන් ලබන වසරේදී ලංකාවේ ආර්ථිකය දරුණුම තත්වයකට ඇද වැටිය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ජනක් කුමාරසිංහ අනාවරණය කරයි.

එමෙන්ම ආණ්ඩුව බදු වැඩිකර ගැනීමට යාමෙන් ආර්ථිකය හැකිළෙන වේගය තව තවත් තීව්‍ර වෙනවා සේම බැංකු ඇතුළු මූල්‍ය පද්ධතිය මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් ආයතන තවත් විශාල අවදානමකට පත් විය හැකි බවද ඔහු අවධාරණය කරයි.

රජයට වුවත් අවශ්‍ය අවස්ථාවල දත්ත, නිගමන ලබා දී පවතින අර්බුදයෙන් යන්තමින් හෝ ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය කැපවීම් කිරීමට සූදානම් බවද ඔහු කියයි.

“ආණ්ඩුව තවත් බදු වැඩි කිරීමට උත්සාහ කළොත් එය රටේ සමස්ත ජනතාවගේ ජන ජීවිතයට ඍජුව බලපානවා. ඒ වගේම පොළී අනුපාත වැඩි කිරීමෙන් උද්ධමනය පාලනය කරන්න උත්සහ කරමින් තිබෙනවා. එය මහ බැංකුව විසින් කළ යුතු පියවරක්ව තිබුණා. එයින් ආර්ථිකයට කම්පනයක් ඇති කරනවා.

මේ මගින් ආර්ථිකයට ඇතිකර තිබෙන කම්පනයෙන් අනෙකුත් විචල්‍යයන්ට බලපෑම් සිදුවී තිබෙනවා. ප්‍රධානම බලපෑම ව්‍යාපාරිකයන්ට අදාළයි. ඔවුන්ගේ ප්‍රාග්ධන සම්පාදනය කරන්නේ බැංකු ණය ගැනීමෙන්. බැංකු ණය ලබා ගැනීම වෙනුවෙන් පිරිවැයක් දරන්න වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටක ව්‍යාපාර ආයෝජනවලින් ලැබෙන ප්‍රතිලාභ තුළ අඩංගු ලාභය තිබෙන්නේ මුළු පිරිවැයෙන් 10%ත් 15%ත් අතර ප්‍රමාණයකයි.

ඒත් අද වනවිට පොළී අනුපාතිකය 25% ඉක්මවා තිබෙනවා. මේ තත්වය මත බැංකුවලින් ණය ලබාගෙන ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභවල ලාභය ඔහුගේ බැංකු ණය පොළිය ගෙවීම සඳහාවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ නිසා ව්‍යාපාර සියල්ල අස්ථාවර තත්වයකට පත්වී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පමණක් නොවෙයි මහා පරිමාණ ව්‍යාපාර පවා අස්ථාවර වී තිබෙනවා. අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම අඩපණ කර තිබෙනවා. මේ නිසා අපේ ආර්ථිකය හැකිළෙමින් පවතිනවා.

ලෝක බැංකුව මේ සම්බන්ධයෙන් කර තිබෙන පුරෝකථන අනුව ඉදිරි වසර තුළ ඩොලර් බිලියන 10 ඉක්මවූ ප්‍රමාණයකින් ලංකා ආර්ථිකය හැකිළිය හැකි බවට අනතුරු හඟවා තිබෙනවා. 2023 වර්ෂයේදී අපේ ආර්ථිකය දරුණු තත්වයකට ඇද වැටිය හැකි බව පෙන්වා දී තිබෙනවා. ආණ්ඩුව බදු වැඩිකර ගැනීමට යාම තුළ ආර්ථිකය හැකිළෙන වේගය තව තවත් තීව්‍ර වෙනවා. මේ නිසා කෙසේ හෝ රැඳී සිටින ව්‍යාපාරවලට පවා විශාල තර්ජනයක් ඇති වෙන්න පුළුවන්.

මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන ලෙස උපදෙස් දීමත් දැනට ණය වාරික සහ පොළිය ගෙවීම් කළ නොහැකි තත්වයකට ඇද වැටෙන්නත් ඉඩ තිබෙනවා. එවැනි තත්වයකදී ආර්ථිකයක් ගොඩගැනීම සහ ආර්ථිකය ඉදිරියට තල්ලු කරන බැංකු ඇතුළු මූල්‍ය පද්ධතිය මෙන්ම ඊට සම්බන්ධ අනෙකුත් ආයතනත් විශාල අවදානමකට යන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේ ඉතාමත් පරෙස්සමෙන් අවදානම කළමනාකරණය කරන්න ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි. එසේ නොකළහොත් අපේ සමස්ත මූල්‍ය පද්ධතියම දැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්. එවැනි තත්වයක් නැවත නිවැරදි කර ගත නොහැකි ප්‍රතිවිපාකයක් ගෙන ඒවි.”

පුවත යවන්න