ලිට්‍රෝ ගෑස් නැව් 3න් දෙකකට ගෑස් ගොඩබෑමට අවසර

ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කර තිබූ ගෑස් නෞකා තුනෙන්, දෙකක ඇති ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා.

මෙම නෞකා දෙකෙහි ඇති ගෑස් නිසි ප්‍රමිතියෙන් යුත් බවත්, ඒවායෙහි ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය මෙන්ම ගන්ධය ඇතිකරන ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍යය ද නිසි පරිදි ඇතුළත් බව ද ලේකම්වරයා සදහන් කළා.

අනෙක් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය නියමිත පරිදි ඇතත්, ඊතයිල් මර්කැප්ටන් අවශ්‍ය ප්‍රමාණය නොතිබීම නිසා එය ගොඩබෑමට අවසර දිය නොහැකි බව ද දැනුම් දී තිබෙනවා.

දැනට ගොඩබෑමට අවසර නොදුන් නෞකාවේ ඇති ගෑස් නියමිත ප්‍රමිතියට ගෙන එන තුරු ගොඩබෑමට අවසර නොදෙන බවත්, නිසි ප්‍රමිතියට ගෙන ආ පසුත් ප්‍රොපේන්, බියුටේන් පරීක්‍ෂණයන් ද නැවත සිදුකර පරීක්‍ෂා කරන බවත් ලේකම්වරයා සදහන් කළා.

මෙම නැව් තුනෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන් සංයුතිය සියයට 30 ඉක්මවා නොමැති බව ද අනාවරණවී තිබෙනවා.

 

පුවත යවන්න