ලොතරැයියක් ඇදුණා… ධූරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත කියයි

තමාට “දිනයේ ගත් ලොතරැයියක්” ඇදුනු බව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව හෙට සිට නැවතත් වෘත්තීය කටයුතු ආරම්භ කරන බව යි ඔහු සදහන් කළේ.

ප්‍රශ්නය – ඇමතිතුමා මොකද වුණේ?

“මොකක්වත් නෑ මට ආරංචියි රාජ්‍ය ඇමතිධූරයෙන් ඉවත්කළා කියලා. මේවා ඉතින් එච්චර ලොකු දෙවල් නෙමේ. මම ඇමතිවරයෙක් වුණේ 2000. පාර්ලිමේන්තුව ආපු ගමන්.  ජනාධිපති තුන්දෙනෙක් යටතේ මම වැඩ කරලා තියෙනවා. මට වෘත්තියක් තියෙනවානේ හෙට ඉදලා එහේ යනවා… උසාවියට.” 

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් ඔබ තුමාව දැනුවත් කරලා තියෙනවා ද?

“නෑ. සාමාන්‍යයෙන් දැනුවත් කරන්නේ නෑනේ. මාධ්‍යයෙන් තමයි දැන ගන්නේ ඉවත් කළා කියලා.” 

ප්‍රශ්නය – හේතු දක්වලා තියෙන්නේ මොනවාද ඔබතුමාව ඉවත් කරන්න?

“එහෙම හේතු දක්වන්න ඕනේ නෑනේ. විධායක ජනාධිපතිතුමාට තියෙනවා ඕනේ කෙනෙක්ව පත්කරන්න ඕන කෙනෙක්ව අයින් කරන්න.”

ප්‍රශ්නය – මොකද්ද වෙලා තියෙන්නේ ?

“පෙරේදා පොළේ ගියාම ඔබ තුමන්ලාගෙන් කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් කිලෝවක් 1,200යි කියලා. මම කිව්වා සම්පූර්ණයෙන් මේ කෘෂිකර්මය ෆේල්. ගත්ත ප්‍රතිපත්ති තීන්දු ෆේල් කියලා. ජනතාව වෙනුවෙන් තමා අපි කතා කළේය.” 

ප්‍රශ්නය – මීට කලිනුත් අමාත්‍යවරු රජය විවේචනය කරනවා.

“මං හිතන්නේ අමාත්‍ය මණ්ඩලයේ දීත් මොනවා හරි කතා වෙන්න ඇති. වගකීම් භාරදීලා තියෙනවා නේ. අධ්‍යාපන සුදුසුකම් අනුව සනීපාරක්ෂක කම්කරුවෙක්වත් වෙන්න බැරි අය. ඒ අයට අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නෑ.”

පුවත යවන්න