වරායේ ඇති කිරිපිටි කන්ටේනර් දොළහක් නිදහස් කර ගැනීමට නෙහැකිවීම නිසා කිරිපිටි ගෙන්වූ නැව් සමාගම්වලට රුපියල් ලක්ෂ තිස්හතක මුදලක් ප්රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ඊයේ (30 වැනිදා) පවසයි.
දින අනූවක කාලයක් සඳහා මෙම මුදල නැව් සමාගම්වලට ගෙවීමට සිදුව ඇත.
මේ අනුව කිරිපිටි කිලෝග්රෑම් එකක් වරායෙන් නිදහස් කර ගැනීමට රුපියල් එකසිය හැත්තෑවක මුදලක් ගෙවීමට සිදුවන බව එම සංගමය සඳහන් කරයි.
මෙම තත්ත්වය මත කිරිපිටි කිලෝග්රෑම් එකකට රුපියල් දෙසීයක (200) මුදලක් වැඩිකිරීමෙන් පසුද කිලෝවක් රුපියල් එක්දහස් එකසිය හතළිස් පහකට (1145) දීමට හැකියාවක් නොමැති බවත් වරායෙන් නිදහස් කරගන්නා විටම කිරිපිටි කිලෝ ග්රෑම් එකකට රුපියල් එක්දහස් දෙසිය හැටක (1260) මුදලක් ගෙවීමට සිදුවන බවත් ලක්ෂ්මන් වීරසූරිය පවසයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමට කිසිදු පාර්ශ්වයක් මැදිහත් නොවන බවද එම සංගමය අවධාරණය කරයි. එසේම වරායෙන් නිදහස් කර ගැනීමට ප්රමාද වීමෙන් එම කිරිපිටි නරක්වීමට ඉඩ තිබෙන බවත් මෙම කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවත් ප්රමාද වෙන්නේ නම් ඒවා ඉන්දුනීසියාවට හෝ බංග්ලාදේශයට හරවා යැවීමට කටයුතු කරන ලෙස අදාළ කිරිපිටි සමාගම්වලට දැනුම් දීමට සිදුවන බවද එම සංගමය පවසයි. – වරුණි පෙරමුණ