කොළඹ වරාය නගරය (පෝට් සිටි) වෙනුවෙන් ගොඩකරන ලද භූමියේ බිම් කැබලි 20ක් අලෙවි කර ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක (රුපියල් කෝටි ලක්ෂයක්) මුදලක් ඉපැයීමට බලාපොරොත්තු වන බව CHEC පෝට් සිටි කොලොම්බෝ පෞද්ගලික සමාගමේ සහකාර කළමනාකාර අධ්යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා පවසනවා.
ශ්‍රී ලංකා රජය හා චීනයේ චයිනා හාබර් සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස ඉදිකෙරෙන වරාය නගරයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර 100ක්.
වරාය නගර ප්‍රවර්ධකයන් පළමුව මෙලෙස තෝරා ගත් බිම් කොටස් 20ක් වාණිජ ව්‍යාපාර වෙනුවෙන් අලෙවි කරනු ඇති අතර පළමු පස් අවුරුදු උපාය මාර්ගික සැලසුමට අනුව මෙම ඉඩම් සංවර්ධනය කරනු ලබනවා.
‘‘මෙම ඉඩම් කැබලි විස්සට හෙක්ටයාර හැටක පමණ භූමි ප්‍රමාණයක් අයත් වෙනවා. මෙම බිම් කොටස් විකිණීමෙන් හා ඒවායේ සිදු කෙරෙන ආයෝජනය මගින් පළමු අදියරේ දී අපේක්ෂා කරන මුදල ඩොලර් බිලියන පහක්.’’
ආයෝජන මණ්ඩලයේ අනුමැතියකින් තොරව ආයෝජන වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම සහ දීර්ඝ කාලීන බදු සහන ලබා දීම ඇතුළු මෙරට නීතියට නව ප්‍රතිපාදන රැසක් එක් කෙරෙන වරාය නගරයට අදාළ නව ආර්ථික කොමිෂන් සභාවක්ද ඇතුළත් පනත් කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.