කොළඹ වරාය නගරය තුළ මුදල් විශුද්ධිකරණයට වැඩි ඉඩක් ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි.
එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ මූල්‍ය අක්‍රමිකතා සීමා කිරීමට වරාය නගර පනත සම්මත කිරීමේදී පියවර ගෙන නැති බවයි.
පසුගිය මැයි මස 20 වැනිදා පාර්ලිමේන්තුව කොළඹ වරාය නගර ආර්ථික පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත කළේ ය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන්නේ අදාළ නීති සම්මත ක්‍රිරීමේදී අනුගමනය කළ ඉක්මන් ක්‍රියාවලිය හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවයි.
සංශෝධනය කරන ලද පනත් කෙටුම්පත සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයින්ට පවා ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බව ද ඔවුහු පෙන්වා දෙති.
වරාය නගර පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ එක් පෙත්සම්කාර පාර්ශවයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමන් පිළිගන්නා නමුත් මෙම නීතියේ නොවිසඳුණු ගැටලු කිහිපයක් ඇති බවයි.
ඒ අතර අක්වෙරළ මූල්‍ය ආයතන සඳහා බැංකු පනත අදාළ වන්නේ දැයි ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කරීමක් කර නැති බව ඔවුහු පෙන්වා දෙති.
මේ අතර වරාය නගරයේ ක්‍රියාත්මක වන සමාගම්වල සැබෑ හිමිකරුවන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම අනිවාර්ය කර නැති බව ද සඳහන් ය.
සමාගම්වල අයිතිය අවසාන වශයෙන් කවුරුන් සතුවේද යන්න ත්‍රස්ත මූල්‍යකරණය සහ මුදල් විශුද්ධිකරණයට නිත්‍යානුකූල ප්‍රභවයන් භාවිත කිරීම වැළැක්වීමේ මූලිකම ක්‍රමවේද බව ඔවුහු පෙන්වා දෙති.
එබැවින් වරාය නගරය, අපරාධවලින් උපයා ගන්නා දේපළ සඳහා සුරක්ෂිත පරිසරයක් ඇතිකරන රහස්‍ය බල ප්‍රදේශයක් බවට පත් විය හැකි බව ද එම ආයතනයේ අදහසයි.