වහා පියවර නොගත්තොත් කොරෝනා මරණ 18,000 ක් විය හැකියි / විශේෂඥයන් අනතුරු අඟවයි

වර්තමානයේ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකළහොත් එළඹෙන ජනවාරි මාසය වනවිට මෙරට කොවිඩ් මරණ 18,000ක් දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සමග එක්වී සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ දිනයේ දී භාර දී තිබෙනවා.

දැනට පවතින කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා එම වාර්තාවෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ප්‍රබල ලෙස ඉන් දන්වා ඇත්තේ සංචරණ සීමා පැනවීම පිළිබඳවයි.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා වර්තමාන කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව මෙහිදී ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවද එම නිර්දේශවල සඳහන්.

අවම වශයෙන් කෙටි කාලයකට හෝ ඇඳිරිනීතිය පැනවීම මෙන්ම සති 03ක කාලයක් සියලු උත්සව නවතාදමා දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බවට ද එම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ද ඔවුන් අදාළ සමීක්ෂණය මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සියලුදෙනා එන්නත්කරණ වැඩසටහනට සහභාගී කරවීම පිළිබඳව ද අදහස් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම කොවිඩ් රෝගයේ පවතින බරපතළකම සම්බන්ධයෙන් ජනතාව ඉතා දැඩිව දැනුවත් කළ යුතු බව අදාළ සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා.

පුවත යවන්න