විකෘති වූ වෛරස රටට ඇතුළුවීම් අවදානමක් / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ලෝකයේ ඇතැම් රටවලින් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයන් හමුවීම සහ දෙමුහුන් වූ වයිරසයන් ලෙස වෙනස් වීම් වාර්තා වෙමින් පවතින බැවින් එවැනි වයිරසයන් අප රට තුළටද ඇතුළුවීමේ බරපතළ අවදානමක් මේ වන විට මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කරයි.

මෙම අවදානම් තත්ත්වයන් හඳුනා ගැනීමට නම් පීසීආර් පරීක්ෂණයන් වැඩිකළ යුතු වුවද මේ වන විට එම ප්‍රමාණයන් අඩුවෙමින් පවතින බව ඔහු පෙන්වාදෙයි.

දිනකට 19000ක් පමණ පීසීආර් පරීක්ෂණ පසුගිය දිනවලදී සිදුකළද මේ වන විට එය 10000 දක්වා අඩුවී ඇති අතර පීසීආර් වාර්තාවන් ලැබෙන විට දින දෙක තුනක් පමණ කාලයක් ගතවීමද දැනට පවතින අවදානම් තත්ත්වය තවත් වැඩි වර්ධනය කිරීමට හේතුවක් වී ඇතැයි ඔහු සඳහන් කරයි.

රට තුළට විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් පීසීආර් පරීක්ෂණයන් වැඩිකළ යුතුව තිබියදී එය අඩු කිරීම රට තුළ නැවතත් බරපතළ තත්ත්වයන් නිර්මාණය කිරීමට හේතු විය හැකි යැයිද ඔහු තවදුරටත් පෙන්වා දෙයි. – Aruna

පුවත යවන්න