විදුලිය කැපීම කුමන්ත්‍රණයක් / ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ජනපතිට දන්වයි

විදුලිබල අර්බුදය, ඩොලර් හිඟය ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටි මෙම රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ සිදුකළ ප්‍රකාශයකට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විරුද්ධව අදහස් පළ කර තිබෙනවා.

මෙම හමුවට පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ද එක්ව සිටියා.

පසුගිය දා උදය ගම්මන්පිළ අමාත්‍යවරයා මාධ්‍ය  හමුවකදී සදහන් කළේ විදේශ විනිමය අර්බුදයට හේතුව අසීමිත ලෙස ණය බර ඉහළ යාම මිස කොරෝනා අර්බුදය නොවන බවයි.

මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු තවත් පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා තිබෙනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කර ඇත්තේ විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යවරයා පරස්පර අදහස් පළ කරමින් සිටින බවයි.

එහිදී කිසියම් කරුණක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්නේ නම් පුළුල්ව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම විදුලිබල අර්බුදය ක්ෂණිකව ඇතිවූවක් නොව අවශ්‍ය බලාගාර නිසි කලට ඉදි නොවීම නිසා මතු වූවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්තිය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බව සදහන් කළා.

මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කළේ මෙම වසරේ දී ඩොලර් මිලියන 31,000ක විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය බවයි. එම ප්‍රමාණය ලබා ගැනීම සඳහා සෑම උත්සාහයක්ම දරණ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

පුවත යවන්න