විපක්ෂය එක තැනකට ගේනවා / රනිල් පාර්ලිමේන්තු ඒමට පෙර කියයි

ලබන සතියේ ඔහු යළි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස දිවුරුම්දෙනු ඇත. දේශපාලනයේ ජය පරාජයන් අතරේ තවමත් ඔහු සිය කි‍්‍රයාකාරී දේශපාලනය මදකට හෝ නතර කර නැත. දේශපාලන පෙරලි රැසක් ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය සමග සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවේ. ලද විවේකයකදී පස්වරක් මෙරට අගමැති ධුරය හෙබවූ රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සිදුකරන ලද කතාබහයි මේ.

ප‍්‍රශ්නය – ඔබ සතුටින්ද?

රනිල් වික‍්‍රමසිංහ – ඇයි ඔබ එහෙම අහන්නේ?

ප‍්‍රශ්නය – යහපාලන ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පස්සේ වසර කීපයක් නිහඬව හිටපු ඔබ ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තුවට යනවා. අපට ආරංචියි ඔබ ඊළඟ විපක්ෂ නායක වෙනවත් කියලා. ඉතිං ඔබට සතුටු නැද්ද?

රනිල් වික‍්‍රමසිංහ – විපක්ෂ නායක කතාව පැත්තකින් තියලා ඔබේ ප‍්‍රශ්නයට උත්තර දෙන්නම්. මම දශක ගණනාවක් ම එක දිගට පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක්. වැදගත් අමාත්‍යාංශ කිහිපයකම ඇමැතිවරයා හැටියට මම වැඩ කළා. මම පස් පාරක් අගමැති වුණා. ඉතිං පාර්ලිමේන්තු යනවයි කියලා ඇතිවෙන අලූත් සතුට මොකක්ද? අනෙක සතුට කියන්නේ මොකක්ද?

ප‍්‍රශ්නය – ඔබට සාපේක්ෂව සතුට කියන්නේ මොකක්ද?

රනිල් වික‍්‍රමසිංහ – සතුට කියන එක අර්ථකථනය කිරීම හරිම අමාරුයි. බුදුදහම පිළිපදින කෙනකුට සතුට කියන්නේ මොකක්ද කියන එක සංකීර්ණ ප‍්‍රශ්නයක්. සාමාන්‍ය කෙනෙක් සතුට දකින විදිහට වඩා ගැඹුරු විදිහට සතුට දකින්න බුදුදහම හරියට පිළිපදින කෙනකුට පුළුවන්. සුපේශල ශික්ෂාකාමී භික්ෂුවක් සතුට දකින්නේ ඊටත් වඩා ගැඹුරු විදිහට. නිවන් මග පතන ගිහියෙක් හෝ ශ‍්‍රමණයෙක් දකින සතුට වෙනස්ම එකක්. දුක මොකක්ද කියන එක අපි දන්නවා. ඒ ගැන බුදු දහමේ හඳුන්වලදීලා තියෙනවා. සැපක් කියන දේ හෝ සතුට කියන දේ හැමවෙලාවෙම නැහැ. සමහරවිට අප සතුටක් විදිහට දකින දෙයක් හරියට නිර්වචනය කරගත්තොත් ලැබෙන උත්තරය කිසිදු වටිනාකමක් නැති දෙයක් වෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය – පිටස්තර ලෝකය රනිල් වික‍්‍රමසිංහව කවදත් දැක්කේ බටහිරකරණය වූ දේශපාලනඥයෙක් විදිහට…

රනිල් වික‍්‍රමසිංහ – මම මගේ මුළු පාසල් අධ්‍යාපනයම කළේ සිංහල භාෂාවෙන්. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගෙන අ.පො.ස. සා. පෙළ විභාගය සමත් වුණාට පස්සේ මම කලා අංශය තෝරා ගත්තා. හැබැයි මගේ සහෝදරයා වන ශාන් වික‍්‍රමසිංහ විද්‍යා විෂය ධාරාව තෝරගෙන ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමට යොමු වුණා. මම නීතිය ඉගෙනගැනීමට විශ්වවිද්‍යාලයට යන තුරුම සිංහල භාෂාවෙන් තමයි අධ්‍යාපනය කළේ. රාජකීය විද්‍යාලයේ සංස්කෘතිය ඇතුලේ අධ්‍යාපන මාධ්‍ය සිංහල උනත් ශිෂ්‍යයන් අතර අදහස් හුවමාරු කරගැනීමේ භාෂා මාධ්‍ය වුණේ ඉංග‍්‍රීසි. ඒ නිසා සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා දෙකේම පරිණතභාවයක් අපට ලැබුණා. හැබැයි අපි දේශපාලනයට එන කාලේ ආණ්ඩුවේ වැඩකටයුතු හුඟක්ම වුණේ ඉංග‍්‍රීසියෙන්. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල වුණාට අද උනත් සමාජයේ යම් යම් ස්ථරවලදී වැඩකටයුතු කෙරෙන්නේ ඉංග‍්‍රීසියෙන්. සමහරවිට අප එසේ ඉංග‍්‍රීසියෙන් වැඩකටයුතු කරන අවස්ථා විතරක් කෙනෙක් දකින්න ඇති. ඊළඟට ඔවුන් චෝදනා කරනවා මම බටහිරට ගැතියි කියලා. මේක දේශපාලන දෝෂාරෝපණයක් විතරයි. ඒකෙ ඇත්තක් නැහැ.

ප‍්‍රශ්නය – ඔබේ නිවසේ හැමතැනකම බුදුන් වහන්සේගේ චිත‍්‍ර සහ බෞද්ධාගමික සංකේත දක්නට ලැබෙනවා. ඔබ මේ ආකාරයෙන් ඔබේ ගෘහ පරිසරය සකස් කර ගත්තේ ඇයි?

රනිල් වික‍්‍රමසිංහ – මම බෞද්ධයෙක්. මම බුදුදහමට ඉතාම කැමතියි. බුදුදහමේ ඉගැන්වෙන හරය මම ඉතාම ඉහළින් අගය කරනවා. ඒ නිසා තරුණ වයසේ සිටම බෞද්ධාගමික සංකේත බුදුන් වහන්සේගේ චිත‍්‍ර යනාදිය එකතු කිරීමේ පුරුද්දක් මට තිබුණා. ඊළඟට ගෙයක් හදනකොට මා නිතර ගැවසෙන තැන්වල බෞද්ධාගමික සංකේත දැකීමේ වුවමනාවකුත් මට තිබුණා. මේ වටපිටාව මෙසේ නිර්මාණය කරලා තියෙන්නේ ඒකයි.

ප‍්‍රශ්නය – පසුගිය වකවානුවේදී ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ සිට මේ දක්වා ගත වූ කාලයේ සිදුවුණු දේවල් ගැන ඔබේ විග‍්‍රහය මොකද්ද?

රනිල් වික‍්‍රමසිංහ – යුද ජයග‍්‍රහණයෙන් පස්සේ මේ රට ඉදිරියට ගෙනයෑම සඳහා සමාජ ආර්ථික වැඩසටහනක් හඳුන්වා දුන්නේ යහපාලන ආණ්ඩුවයි. විශේෂයෙන්ම ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කරන්නටත් සියලූ ජාතීන්ට අයත් ජන කොටස් එක් රැස් කරන්නටත් රටේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් සියලූදෙනාගේ සහභාගීත්වය ලබාගන්නටත් අප වැඩපිළිවෙළක් සකස් කළා. මුල් අවුරුදු කිහිපයේදී ඒ වැඩපිළිවෙළ සාර්ථක වුණා. බුදු දහමට ප‍්‍රමුඛ ස්ථානය දෙන්නටත් සෙසු ආගම්වලට නිසි ගෞරවය සහ තැනක් දීමටත් අප කටයුතු කළා. ඒත් අයි.එස්.අයි.එස්. අන්තවාදී ධර්මයට අනුව යමින් කඩාකප්පල්කාරී ක‍්‍රියාවල නිරත වූ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගේ පාස්කු ප‍්‍රහාරය නිසා අපේ ප‍්‍රගතිශීලී වැඩසටහන්වලට සෑහෙන පහරක් එල්ල වුණා. මේ අවස්ථාවේදී මුස්ලිම් ජනයාට විරුද්ධව වෛරය වපුරන ප‍්‍රවණතාවක් ඇතිවුණා. අප ඒ තත්ත්වයත් පාලනය කළා. දේශපාලන වශයෙන් අපේ ගමන ඉදිරියට ගෙනයන්න දහනව වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නටත් අපට පුළුවන් වුණා. ඒ වගේම නැවත වතාවක් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරන්නටත් රුපියල ලෝකය පිළිගන්නා මුදල් ඒකකයක් බවට පත් කරන්නටත් අපට හැකි වුණා.

ප‍්‍රශ්නය – ඔබේ පාලන සමයේදී ඩොලර් එකක මිල කීයද?

රනිල් වික‍්‍රමසිංහ – 2019 දී අප බලය අත්හරින විට ඩොලරය රුපියල් එකසිය අසූවයි. අද එහි මිල රුපියල් දෙසිය විස්සයි. වඩාත්ම වැදගත් දේ තමයි මුදල් විශුද්ධිකරණ ජාත්‍යන්තර ලැයිස්තුවේ සඳහන්ව තිබූ ශ‍්‍රී ලංකාවේ නම ඉන් ඉවත් කරගැනීමට අපට හැකිවීම. ජාත්‍යන්තර තලයේදී මුදල් විශුද්ධිකරණය සාපරාධී ක‍්‍රියාවක්. එය ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී විශාල කැළලක්. අපේ දේශපාලනයේ තිබුණේ ප‍්‍රතිරූප හදන එක නෙමෙයි. ප‍්‍රතිරූප හැදීම බුදුදහමටත් විරුද්ධයි. ඒ අනුව පුද්ගලයන් උලූප්පන්නේ නැතුව වැඩකටයුතු විතරක් ඉදිරියට ගෙනයෑමේ කාර්යාවලියක අපි නිරත වුණා. දැන් තියෙන තත්ත්වය තමයි අපි ඉවර කරපු තැනින් එහාට යන්නට කාටවත් බැරිවීම. ඔවුන් තමන් කියපු පොරොන්දු ඉටු කළෙත් නෑ. අපි කරගෙන ආව ටික ඉවර කළෙත් නෑ. ආර්ථික සහ සමාජ පදනම ශක්තිමත් වන වැඩසටහන් කිසිවක් ක‍්‍රියාත්මක වෙලා නෑ.

ප‍්‍රශ්නය – ඔබ ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීම මගහැරියා. ඒ හැම අවස්ථාවකම ඔබ වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළා. මුලින්ම සරත් ෆොන්සේකා. දෙවනුව මෛත‍්‍රීපාල සිරිසේන. තුන්වන අවස්ථාවේදී ඔබ ඉදිරිපත් කළේ සජිත් පේ‍්‍රමදාස. මේ අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදී හෝ ඔබට ජය ගැනීමට තිබුණු බව අප දන්නවා. ඇයි ඔබ එවැනි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කළේ.

රනිල් වික‍්‍රමසිංහ – ඒවා එක් එක් දේශපාලනික අවස්ථාවලදී ගත් දේශපාලනික තීරණ. මට හැම වෙලාවකම උවමනා වුණේ පක්ෂය හෝ අපේ මතවාද නියෝජනය කළ කණ්ඩායම ජයග‍්‍රහණය කරවීමයි. එහිදී මා ජනාධිපති වෙනවාද නැද්ද යන ප‍්‍රශ්නය මට කවදාවත් තිබුණේ නෑ.

ප‍්‍රශ්නය – ඔබ යහපාලන ඡුන්ද ව්‍යාපාරයේදී ඔබේ දේශපාලන සගයා වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත‍්‍රීපාල සිරිසේනයි. පසුකාලයේදී ඔබ දෙපල අතර විශාල විරසකයක් ඇතිවුණා. ඒ විරසකය තවමත් එහෙමම තිබෙනවාද?

රනිල් වික‍්‍රමසිංහ – කිසිසේත්ම නැහැ. ඒ හැම දෙයක්ම ප‍්‍රතිපත්තිමය ගැටුම් මිස පුද්ගලික ගැටුම් නොවෙයි. දේශපාලනයේදී හැම කෙනෙක් එක්කම වැඩ කරන්නට අපට සිද්ධ වෙනවා. ඒ අය අතර අපේ මතයට විරුද්ධ සහ අපේ මතයට පක්ෂ අය ඉන්නවා. මේ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එක් අවස්ථාවේදී මතවාදී වශයෙන් මැද තැනකට එනවා. ඒ අවස්ථාව තමයි වැදගත් අවස්ථාව. ඒ අවස්ථාවේ සිට අප ඔවුන් සමග ඉදිරියට කටයුතු කරගෙන යනවා.

ප‍්‍රශ්නය – ඔබ සහ ජනාධිපති මෛත‍්‍රී අතර හටගත් බෙදීම නිසා ආණ්ඩුවේ ඉදිරි ගමන බාල වූ බව අප විශ්වාස කරනවා…

රනිල් වික‍්‍රමසිංහ – සමහර තැන්වලදී ඒ බෙදීම ප‍්‍රශ්නයක් වුණා තමයි. ඒත් අප මුලදීම දන්නවා අප පිහිටුවන්නේ සභාග ආණ්ඩුවක් බව. සභාග ආණ්ඩුවකදී එහි පාර්ශ්වකරුවන් කැමති හැමදේම කරන්නට බැහැ. සියලූදෙනාම කතා කරලා සම්මුතියකට ඇවිල්ලා ගන්න තීරණ විතරයි ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ අනුව පළවෙනි අවුරුදු දෙක තුළදී යහපාලන ආණ්ඩුවේ එකිනෙකා අතර තිබූ සහයෝගය ඊළඟ අවුරුදු තුනේදී තිබුණේ නැහැ. එහි ප‍්‍රතිපලයක් හැටියට දවස් පනස් දෙකක කාලයකට ආණ්ඩු බලය අපට අහිමි වෙනවා. පසුව නැවතත් අපට එය ලැබෙනවා.

ප‍්‍රශ්නය – ජී. එස්. පී. ප්ලස් වෙළෙඳ සහනය අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබෙන බව අපට දැනගැනීමට තිබෙනවා. එහෙම වුණොත් ඩොලරය රුපියල් තුන්සීය දක්වා මිල ඉහළ යන බවටත් ඔබේ පුරෝකථනයක් තිබෙනවා. ජී. එස්. පී. ප්ලස් නැති වුණොත් අපේ ආර්ථිකයට කුමක් සිදුවිය හැකිද?

රනිල් වික‍්‍රමසිංහ – ඒ වගේ දෙයක් වුණොත් අපේ ආර්ථිකයට ලොකු ප‍්‍රශ්නයක් වේවි. ලෝක ආර්ථිකයත් මේ වෙලාවේ වැටිලයි තියෙන්නේ. කොවිඞ් වසංගතය නිසා කාටවත් ගොඩ ඒමක් නැහැ. එවැනි අවස්ථාවල තම තමන්ගේ රටවල ආර්ථිකය බේරා ගන්නවා මිසක අනුන්ගේ රටවල ආර්ථිකය බේරාගන්නට කව්රුවත් එන්නේ නැහැ. අපේ ආර්ථිකයට වෙලා තියෙන්නේ මේකයි. කොවිඞ් නිසා සංචාරක ව්‍යාපාරය නැතිවුණා. එක්ස්ප‍්‍රස් පර්ල් නිසා ධීවර ව්‍යාපාරයත් නැති වුණා. ඒ වගේම විදේශික ශ‍්‍රමිකයන්ගෙන් එන ආදායමත් වේගයෙන් පහත බසිමින් තිබෙනවා. අරාබි රටවල පවා ආර්ථික ප‍්‍රශ්න තිබෙනවා. ඒ නිසා ඔවුන් විදේශික ශ‍්‍රමය ලබා නොගෙන තමන්ගේ රටවල අය යොදවා ඒ මුදල් ඉතිරි කරගන්නට බලනවා. උදාහරණයක් වශයෙන් මීට දින කිහිපයකට පෙර බහරේන් රාජ්‍යය විදේශික ශ‍්‍රමිකයන් තම රටට ගැනීම නැවත්වූවා. ඒ නිසා අපට දැන් ඉතිරිවෙලා තියෙන්නේ ඇඟලූම් කර්මාන්තය සහ තේ වගාව පමණයි. ඒ අතර යුරෝපයට යැවිය හැකි අපනයන ගණනාවක් අපේ රටේ තියෙනවා. සමහර ලංකාවේ ආයතන තියෙනවා යුරෝපයේ රුවල් නැව්වලට රුවල් හදලා යවන. ඒ එක්කම ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනයත් ප‍්‍රවර්ධනය කරන්නට පුළුවන්. එක ආදායමක් නැතිවුණා කියලා ඒ ගැන හිත හිතා දුක්වේවි කිසිවක් නොකර බඩගින්නේ ළතවෙන රටවල් ලෝකේ කොහෙවත් නැහැ. හැම විටකම අප ඊළඟ විකල්පයට යොමු විය යුතුයි. මේ රට ස්ථිර වශයෙන්ම ගොඩගන්න පුළුවන් රටක්. ධීවර කර්මාන්තය පිළිබඳ ප‍්‍රශ්නය විසදන්න කාලයක් යාවි. අප නිකම් ඉන්නට හැදුවට අපෙන් බඩු ගන්න රටවල් එහෙම හිතන්නේ නැහැ. ඔවුන් තම ජීවන තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන දේවල් පිටරටවලින් මිලට ගන්නවා. මේ අතරේ අපේ දේශීය නිෂ්පාදනවල අංග ගණනාවක් ම තියෙනවා පිටරට යවන්න පුළුවන්. අප ඒවා කෙරෙහි යොමුවෙන්න ඕන. නාස්තිය සහ දූෂණය නැති කරන්න ඕන. සමහරවිට නාස්තිය සහ දූෂණය එක එල්ලේම සීයට සීයකින් නැති කරන්න බැරි වේවි. එහෙනම් මුලදී එය අවම කළ යුතුයි. ඊට පස්සේ පුළුවන් නාස්තිය සහ දූෂණය ශූන්‍ය කරන්න.

ප‍්‍රශ්නය – ඔබ ඊළඟ විපක්ෂ නායක වෙනවද?

රනිල් වික‍්‍රමසිංහ – දැනට විපක්ෂ නායකවරයෙක් ඉන්නවනේ. ඒ අයගේ ප‍්‍රශ්න ගැන කිසිවක් කියන්න මම දන්නේ නැහැ.

මම එන්නේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන්න.

ප‍්‍රශ්නය – ඔබ මෙවර පාර්ලිමේන්තුවට ගිහිං කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔබ කිසියම් පෙරළියක් කරන්නට බලාපොරොත්තු වෙනවාද?

රනිල් වික‍්‍රමසිංහ – පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය පරස්පර මතිමතාන්තරවලින් පිරුණු කට්ටියක්. ඔවුන් සියලූ දෙනාම පොදු රාමුවක් ඇතුළට අරගෙන වැඩ කළ හැකි නම් වඩා ප‍්‍රබල විපක්ෂයක් ගොඩනගන්නට පුළුවන්. විශේෂයෙන් කොවිඞ් වසංගතය නිසා රට මෙවැනි අර්බුදකාරී තත්ත්වයක පසුවන මොහොතක ආණ්ඩුව පෙරළීම විපක්ෂයේ අරමුණ නම් එය සුදුසු නැහැ. විපක්ෂයක් නිතරම කළ යුත්තේ සුදුසු ගමන් මගට ආණ්ඩුව යොමු කිරීමයි. කොයි ආණ්ඩුවකටවත් තමන් කරන වැරදි පේන්නේ නැහැ. එය ඉතාම ස්වභාවික තත්ත්වයක්. මොකද තමන් කරන වැරදි දිහා බල බලා ඉන්න වෙලාවක් ආණ්ඩුවට නැහැ. ඒ වැරදි හොඳටම පේන්නේ විපක්ෂයට. විපක්ෂයට පුළුවන් ප‍්‍රතිසංස්කරණවාදී ක‍්‍රමවේදයකට අනුව ආණ්ඩුවේ වැරදි පෙන්වලා දීලා උදව් කරන්න. මා හිතනවා මට තියෙන අත්දැකීම් නිසා විපක්ෂයේ සියලූ පක්ෂත් එක්ක මිත‍්‍රශීලී ලෙස කතා කරලා ඔවුන් එක තලයකට ගේන්න.

ප‍්‍රශ්නය – මේ රට ගොඩනැගීමට ඔබට වැඩපිළිවෙළක් තියෙනවාද?

රනිල් වික‍්‍රමසිංහ – අඩුම ගණනේ අවුරුදු පහළොවක්වත් සියලූ පක්ෂ එකතුවෙලා රට ඉදිරියට ගෙන යා යුතුයි. ආණ්ඩුව හොඳ වැඩක් කරනකොට ඒක කඩාකප්පල් කිරීම හෝ පදනම් විරහිත විවේචන කිරීම විපක්ෂය නොකළ යුතුයි. මොකද ඉස්සරට වඩා අද ඡුන්ද දායකයන් හුඟක් දියුණුයි. ඔවුන් ආණ්ඩුව දිහා වගේම විපක්ෂය දිහාත් බලාගෙන ඉන්නේ. ඊළඟ ඡුන්දයේ තීරකයෙක් ලෙස විපක්ෂයේ හැසිරීමත් බලපානවා.

ප‍්‍රශ්නය – ඔබ ඊළඟ ජනාධිපතිවරණයට එනවාද?

රනිල් වික‍්‍රමසිංහ – මගේ එහෙම කිසිම අදහසක් නැහැ. මට අවශ්‍ය මූලික දේ තමයි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රතිසංස්කරණය කර එය හැරගිය සියලූ දෙනා පක්ෂය තුළට ගෙන්වාගෙන එය නැවත ගොඩනැගීම. එක්සත් ජාතික පක්ෂය කියන්නේ දේශීය පක්ෂයක්. සීයට සීයක්ම ජනතාවාදී පක්ෂයක්. හැබැයි ඇතැම් අවස්ථාවලදී මේ පක්ෂයට හානි වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මෙවැනිම ප‍්‍රශ්න ඇති වූ අවස්ථා තිබෙනවා. ඒ පක්ෂයත් ඡුන්දවලින් පැරදුනා. පක්ෂය දේකට කැඩුණා. ආපහු බලයට ආවා. පක්ෂය වෙනුවෙන් මගේ ජීවිතේ ඉතිරි කාලය වැය කරන්න මං සූදානම්. එයින් එහා කිසිවක් ගැන මම මේ මොහොතේ හිතන්නේ නැහැ. – ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’

පුවත යවන්න