ක්‍රිකට් වනාහී මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව දැන් ඉතිහාසයට එක් වූ කියමනක් පමණි. එවැනි අභිමානවත් සහ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවයත්, ක්‍රීඩකයන්ගේ මහත්මාගුණයත් යටපත් කරමින් ක්‍රීඩාව දූෂණය කිරීමට විවිධ බලවේග ඉස්මතු වූයේ පසුකාලීනය. වර්තමානය වන විට එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔඩු දුවන පිළිකාවක් බවට පත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ තත්ත්වය ද ඊට දෙවැනි නොවේ.
මේ වන විට මෙරට ජන සමාජයේ වැඩිපුර කතාබහට ලක්වෙමින් තිබෙන ක්‍රිකට් විමර්ශන වාර්තාව ඉහත කී කාරණාව තවදුරටත් සනාථ කිරීමට සමත් වූ එකකි. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මඟින් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අරභයා සිදු කරනු ලැබූ විමර්ශනයේ සම්පූර්ණ වාර්තාව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට භාර දෙනු ලැබුවේ ඊයේ පෙරේදාය. පසුදිනම එම වාර්තාව මාධ්‍යයට නිකුත් වූ අතර ඒ සමඟම පසුගිය මාස කිහිපයක සිට මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද වරින් වර ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් ආයතනය සම්බන්ධව අනාවරණය කළ නිල නොලත් කරුණු රාශියක් මේ වාර්තාව මගින් නිල වශයෙන්ම තහවුරු කර ඇත්තේ දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන්ගේ නළල් තල රැලි ගැන්වෙන ආකාරයේ විමතියක් දනවමිනි.
එය වූකලී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ පරිහානියට බලපෑ කරුණු ද, ක්‍රිකට් බලධාරීන්ගේ අවිධිමත් ක්‍රියා කලාපය ද පැහැදිලිවම තහවුරු කළ ඓතිහාසික වාර්තාවකි.
ලොව පුරා ජනප්‍රියතම ක්‍රීඩාව පාපන්දු වූවද ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය වැනි ආසියාතික රටවල නම් ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තේ ඊට ඉහළින්ය. ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසීමිතව ආදරය කරන, අසීමිතව ගෞරව කරන ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට ද සිය ජාතික කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ට ඇත්තේ අතිවිශාල ජනප්‍රියත්වයකි. මෙවැනි ජනප්‍රියත්වයක් ලැබීම එක් රැයකින් සිදුවූවක් නොවන අතර, මුල්කාලීනව බන්දුල වර්ණපුර, රෝයි ඩයස්, රන්ජන් මඩුගල්ල, සිදත් වෙත්තමුණි වැනි ක්‍රීඩකයන් ද, පසුකාලීනව අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොෂාන් මහනාම, හෂාන් තිලකරත්න, අසංක ගුරුසිංහ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් ධර්මසේන වැනි ක්‍රීඩකයන් ද මේ ජනප්‍රියත්වයේ පෙරගමන්කරුවෝ වෙති.
වර්තමානය වන විට පරිහානියට පත් වී ඇත්තේ එවැනි කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ක්‍රීඩාවය. ක්‍රිකට් බලධාරීන්ගේ නොමනා ක්‍රියා පිළිවෙත ද මේ කාරණාවට ප්‍රබල සාධකයක් වී ඇතැයි විමර්ශන කණ්ඩායම විසින් අනාවරණය කරගනු ලැබූ තොරතුරුවලින් අනාවරණය වී තිබේ.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙරට මාධ්‍ය පුන පුනා කී බොහෝ කරුණු දැන් දෑස් ඉදිරිපිටම ඔප්පු වී හමාරය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරග සංචාරය තුළ ක්‍රීඩකයන්ගෙන් සිදු වූ බව කියන විවිධ නීති විරෝධී ක්‍රියා ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කළ බව කියන මූල්‍ය අවභාවිත ගැන ද සොයා බැලීමට ඉහත කී කමිටුව පත් කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යවරයා විසිනි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (3) වගන්තියට අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත් කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වූ බවට පළ වු මාධ්‍ය වාර්තා හා චෝදනා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ විවිධාකාරයේ චෝදනා හේතුවෙනි. ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වීමත්, ඔහු අත්අඩංගුවට පත් වීමත් නිසා මෙවැනි විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය වටපිටාව පැහැදිලිවම ගොඩ නැඟී තිබිණි.
මේ සියලු චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීම සිදු වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු තවත් නිලධාරීන් සිවුදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි. එහිදී ප්‍රධාන අරමුණු දෙකක් කෙරෙහි කාගෙත් අවධානය යොමු වී තිබිණි. පළමුවැන්න නම් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධව කටයුතු සිදු කළ යුතු ආකාරය සහ ඉදිරියේදී එවැනි සිදුවීමක් නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ය. දෙවැන්න වූයේ ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ගේ දස්කම් වර්ධනය කරමින් 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් පුහුණු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් විය යුතු ආකාරය ගැනය. ඒ අතරතුරම බෝන් අගේන් ආගමික නිකායට අයත් ක්‍රීඩකයන්ට කණ්ඩායමේ වැඩි අවස්ථාවක් ලැබෙන බවට පවතින මාධ්‍ය වාර්තා සම්බන්ධව විමර්ශනයක් කිරීමට ද තීරණය වී තිබිණි. ඒ අනුව එම සාකච්ඡාවේදී මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් තීරණ 15ක් ගෙන ඇති අතර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වය යටතේ විද්වත් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා තිබිණි.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව මතු වූ විවිධාකාරයේ චෝදනා පිළිබඳ සහ එවැනි සිදුවීම් ඉදිරියේදී ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම බෝන් අගේන් ආගමික නිකායෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වන බලපෑම් ද විමර්ශනය කර නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් සැපයීම එම කමිටුවේ වගකීම බවට පත් විය. ඒ සඳහා අවශ්‍ය පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසා, තොරතුරු ලබා ගැනීමට සම්පූර්ණ බලය පවරනු ලැබීය.
මේ වාර්තාව සකස් කිරීම සඳහා තොරතුරු එක්රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ඉමහත් දැනුමක් ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ද, විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් කරුණු දන්නා රාජ්‍ය නිලධාරීන් ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ද, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ද, බෝන් අගේන් ආගමික නිකාය මෙහෙයවනු ලබන ෆාදර් ජෙරම් ප්‍රනාන්දු ද කැඳවා සාක්ෂි ලබා ගෙන ඇත.
මෙහිදී අනාවරණය වූ වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් දහසය දෙනකුගෙන් අඩකට වැඩි පිරිසක් දිනකට අමෙරිකානු ඩොලර් 700ක් පමණ බැගින්, දින දහයකට ඩොලර් 7000ක් පමණ විශාල මුදලක් ලබා ගනිමින්, ව්‍යාපාරික පන්තියෙහි ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා යැයි ඔස්ට්‍රේලියාවට ගොස් තිබූ බවය. මෙවැනි අතිවිශාල වියදමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් වැය කර ඇත්තේ සංචාරය සඳහා වියදම් අවම මට්ටමක පවත්වා ගන්නැයි එවකට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාට දන්වනු ලැබූ පසුබිමකදීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරීන්ගෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ලද දායකත්වය කවරේදැයි සොයා බැලීමට කැඳවූ බොහෝ නිලධාරීන් විමර්ශන කමිටුව මඟ හැරීම කනගාටුදායක කරුණකි. එම නිලධාරින් කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීමට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ට නොතීසි යැවීමට ද විමර්ශන කමිටුවට සිදු වී තිබිණි. එසේ තිබියදීත් එම නිලධාරින් කමිටුව හමුවේ පෙනී නොසිටි බවත්, කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා කමිටුව හමුවේ පෙනී සිටීමෙන් ඔවුන් වැළකුණු බවත් කමිටු වාර්තාවේ සඳහන් විය.
ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට හසු වී ඔස්ට්‍රේලියාවෙන් පිටවීම එරට අධිකරණය මඟින් තහනම් කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගෙන් ද සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි සටහන් කරගැනීමට ද කමිටුව පියවර ගෙන තිබිණි.
මෙහිදී සාක්ෂි දුන් බෝන් අගේන් ආගමික නිකායේ නායක යැයි කියනු ලබන පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු විමර්ශන කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔහු දිවැසිවරයකු වන බවය. ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ විසින් ලබා දුන් ආත්මයක් උපයෝගී කරගෙන දුකට සහ ආබාධවලට ලක්වූ බොහෝ අයට කායික හා මානසික සුවය ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන්ගෙන් කිසිදු පුද්ගලයකු ඔහුට මුහුණට මුහුණ හමු වී නැති බවත්, ක්‍රිකට් ආයතනය සමඟ හෝ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ කිසිදු සම්බන්ධතාවක් නැති වුවද ඔවුන් යාඥාවලට පැමිණ සිටියේදැයි යන්න නොදන්නා බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිසිවකු සත්‍ය වශයෙන්ම ඔහුගේ පිහිට පතා පැමිණ නැති බවත් ප්‍රකාශ කර තිබේ. එහෙත් තවත් අවස්ථාවක ඔහු කියා ඇත්තේ තම දේවස්ථානයේ සාමාජිකත්වය ගත් අනුගාමිකයන් සත් දෙනකු පමණ සිටින බවය. ඒ අතුරින් කුමාර් සංගක්කාර මුලින් සිටිය ද දැන් නැති බවටත් පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අය තම පිහිට පතා පැමිණ නැති බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී බව විමර්ශන කමිටුවට පැහැදිලි වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බෝන් අගේන් අනුගාමිකයන් පිළිබඳ ඔහු සත්‍ය කරුණු වසන් කරමින් සාක්ෂි ලබා දෙන බවට පැහැදිලිවම අනාවරණය වී ඇති අතර, ඔහු එසේ ක්‍රියා කරන්නේ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අනුගාමිකයන් තම වසඟයේ තබා ගනිමින් ආරක්ෂා කර ගැනීමට බව සාධාරණව සිතන යමකුට නිගමනය කළ හැකි බව ද කමිටුවේ අදහස වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා දුන් ප්‍රකාශයෙන් බෝන් අගේන් ආගමික නිකායට අයත් ක්‍රීඩකයන් කිහිපදෙනකු සිටින බව පිළිගෙන ඇතැයි ද කමිටුව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයගන්නා බවට සහ ඊට විශේෂ දායකත්වයක් භානුක රාජපක්ෂගෙන් ලැබෙන බවට මෙන්ම ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම ගැන පාස්ටර් ජෙරොම් පළ කර තිබු අනාවැකි මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව ද ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. එහෙත් එවැනි කතාබහක් ක්‍රිකට් ආයතනය තුළ සිදු නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සිය සාක්ෂියේදී ප්‍රකාශ කර තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රිකට් කණ්ඩායමේ සිටින බෝන් අගේන් සාමාජිකයන් සහ අනුගාමිකයන් සම්බන්ධව සාක්ෂිකරුවන් සත්‍ය සාක්ෂි ලබාදීම, අනාවරණය කිරීම සිදු නොකළ බවට කමිටුවට නිරීක්ෂණය වී තිබේ.
විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ කැපී පෙනෙන නිර්දේශ
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට අදාළ සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් සිදු කිරීම.
එසේ විගණනය සිදු කිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් කිරීමට හෝ සැඟවීම වළකාලීමට පියවර ගැනීම.
අනතුරුව ඉදිරිපත් වන කරුණු සලකා බලමින් ආයතනයේ අරමුදල් අවභාවිත කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධානවලට අනුව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය යනාදී චෝදනා ඉදිරිපත් කරමින් නීති මඟින් කටයුතු කිරීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී, විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිත කිරීම, දූෂණ වළකාලීම පිණිසත්, වෙනත් ආයතන සමඟ ගිවිසුම්වලට එළැඹීමේදී විකිණීම් සහ මිලදී ගැනීම්වලදී ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට අනුකුලව සිදු කිරීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විදෙස් සංචාරවලදී රාත්‍රී ආහාර ගැනීමට යැයි කැසිනෝ ශාලාවලට ගියද, එම පරමාර්ථය පමණක් ඉටු නොකරමින්, විනය විරෝධී ක්‍රීඩාවක් වන කැසිනෝ ක්‍රීඩාවේ ද යෙදෙන බවට පමණක් නොව අනවශ්‍ය ආරාවුල්වලට ද යොමු විය හැකි බවට තොරතුරු පවතින බැවින් ක්‍රීඩකයන් කැසිනෝ ශාලාවලට යෑම තහනම් කිරීම.
ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී තේරීම් කමිටුවට කිසිදු බාහිර බලපෑමක් සිදු නොවීමට පියවර ගැනීම.
බෝන් අගේන් ආගමික නිකායෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී බලපෑම් සිදු වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම.
ක්‍රීඩකයන්ට විදෙස් සංචාරවලදී මානසික සහනයක් ලබා ගැනීමට පමණක් නොව, රාත්‍රී ගමන් බිමන්වලින් වැළකී සිටීමටද, ක්‍රීඩකයන්ට ඔවුන්ගේ වියදමින් බිරින්දෑවරු රැගෙන යෑමට අවසර දීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ආයතනයේ අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාවට අදාළව කමිටුවේ නිරීක්ෂණයට ලක්වූ කරුණු
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර පැවැති නිල උත්සවය සඳහා පිළියෙල කළ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ප්‍රවේශ පත්‍ර අලෙවි කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත වශයෙන් හැඳින් වූ මලික් ෂවීර් නමැති පුද්ගලයා ඉන් ලැබුණු ආදායම සම්බන්ධව මෙතෙක් තොරතුර ලබා දී නොදීම.
ක්‍රීඩකයන්ගේ පුහුණු උපදේශකවරයකු ලෙස ක්‍රිකට් ආයතනයේ වියදමෙන් ඔස්ට්‍රේලියාවට ගොස් තිබූ මහේල ජයවර්ධන එහිදී මිනිස්ට්‍රි ඔෆ් ක්රැබ්ස් නම් අවන්හල විවෘත කර කිරීම.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර එහි සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරීන්ගේ වියදම් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයට දුන් ලිපි ආයතනයේ අරමුදල් අවභාවිත කර ඇති අන්දම වසන් කිරීම පිණිස සකසන ලද ලේඛනයක් බවට පෙනී යෑම.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කමිටුවට අසත්‍ය කරුණු අඩංගු වාර්තාවක් ඉදිරිපත් කර ඇති පැහැදිලි වීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල් ක්‍රිකට් ක්‍රීඩාව උසස් තත්ත්වයට පත් කිරීම, ධෛර්යවත් කිරීම නොව, තමන් කරනු ලබන ගරු සේවයට දිය යුතු ත්‍යාගයක් ලෙසට සලකමින් තම පුද්ගලික සුඛ විහරණය සඳහා යොදා ගෙන තිබීම. –
ෆවුස් මොහොමඩ්
විමර්ශන කමිටුවේ සාක්ෂි දුන් අය
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරොම් ජයරත්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ
ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (සංවර්ධන කටයුතු) චතුරි නිරුක්ෂිකා
බෝන් අගේන් ආගමික ජෙරොම් ප්‍රනාන්දු
ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ප්‍රදීප් කිරිඇල්ල
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ
ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින ක්‍රිකට් නායක දසුන් ශානක
ක්‍රිකට් සම්භාහක රෝහාන් විජේවීර
බෝන් අගේන් ආගමික දේවස්ථානයේ සාමාජිකයන් බව පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු පිළිගෙන ඇති පුද්ගලයන්
රුවන් කල්පගේ
භානුක රාජපක්ෂ
ජෙෆ්රි වැන්ඩසේ
ලින්ඩන් හැනිබල්
රොෂාන් අබේසිංහ
විමර්ශන කමිටුවේ පෙනී නොසිටි ක්‍රිකට් ආයතනයේ නිලධාරින්
ජයන්ත ධර්මදාස
රවීන් වික්‍රමරත්න
සුජීව ගොඩලියැද්ද
ක්‍රිෂාන්ත කපුවත්ත
ජානක පතිරණ
තිලක් වාත්තුහේවා
සමන්ත දොඩම්වල
ප්‍රියන්ත අල්ගම
බන්දුල දිසානායක
රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
නලීන් අපොන්සු
ප්‍රධාන මූල්‍ය නිලධාරී මහේෂ් බෝපගමගේ