වෛද්‍යවරුන්, බැංකු සහ වරාය සේවකයින් අද වර්ජනයක

වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වර්ජනයක නිරත වීමට නියමිතයි.

ඒ, නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ අද පෙරවරු 8.00 සිට රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය විසි 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බවයි.

ඊට අමතරව කොළඹ හයිඩ් පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

මේ අතර බැංකු සේවකයින්ද නව බදු සංශෝධනයට එරහිව අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක සඳහන් කළේය.

මේ අතර වරාය සේවකයින්ද අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පැවසීය.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ .එල් උදයසිරි වැඩිදුරටත් පැවසීය.

පුවත යවන්න