දීර්ඝ දින 200ක බලාසිටීමේ කාල සීමාවකින් අනතුරුව, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය සහනය ලැබෙන බව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රී 10ට පමණ ප්‍රකාශයට පත්කෙරිණි.
සාමාන්‍ය තත්වයන් යටතේ, අවශ්‍යතාව පවතින රටකට IMF ණය පහසුකමක් ලබාගැනීම වෙනුවෙන් ගතවන්නේ දින 50ක වැනි කාලයක් වුවද, IMF විසින් නිර්දේශ කරන ලද ප්‍රධාන කොන්දේසි සපුරාලීමට සහ චීනය වැනි ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීම සඳහා මූල්‍ය සහතික ලබාගැනීමට ප්‍රමාද වීම හේතුවෙන්, 2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 මාර්තු මාසය දක්වා මෙලෙස ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් බලාසිටීමට සිදුවිය.
කෙසේවෙතත් අවසානයේ IMF විධායක මණ්ඩලය විසින් ලබාදුන් අනුමැතියට අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට පවතින විශේෂ විදේශ විදේශ විනිමය සංචිත වත්කම් (Special Drawing Rights-SDR) කෝටාවෙන් එක්සත් ඩොලර් බිලියන 03කට අසන්න මුදලක් නිදහස් කිරීමට එකඟත්ව පළව තිබේ. මෙම ණය මුදල විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් යටතේ කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට නිකුත් කෙරෙනු ඇත. එසේම IMF විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව, විධායක මණ්ඩලයේ තීරණය යටතේ SDR මිලියන 254ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ මුදලක් ඉදිරි කාලය තුළ ක්ෂණිකව ලබා දීමට කටයුතු සම්පාදනය කිරීමට නියමිතය. එසේම මෙම ක්ෂණික සහනය ලබාදීමත් සමග ශ්‍රී ලංකාවේ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගෙන් මූල්‍ය ආධාර ලබාගැනීමේ හැකියාවද වර්ධනය වනු ඇති බව IMF ප්‍රකාශ කර තිබේ.
පළමු සතුට ඇමෙරිකාවෙන්
ශ්‍රී ලංකාවේ IMF පැකේජය අනුමත කිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම සතුට පළ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය විසිනි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විදේශ විනිමය සංචිත වත්කම්වලින්(SDR) මිලියන 82,994.2ක් හිමි(එහි ප්‍රතිශතය 17.43%කි) විශාලතම පාර්ශවකරුවා වන්නේ එක්සත් ජනපදයයි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ඊයේ රාත්‍රියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ IMF පැකේජය අනුමත වීම “ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතේ වැදගත් ප්‍රවෘත්තියක් සහ වැදගත් පියවරක්” බවයි.
ශ්‍රී ලංකා රජයට ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීමටත්, ඒ සඳහා වන වැඩපිළිවෙල සහ ආර්ථිකය නිසි පරිදි පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම් අවසන් කිරීමටත් අවශ්‍ය වනු ඇතැයිද ඇය පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සමෘද්ධිමත් විය හැකි බව සහතික කිරීම සඳහා, යහපාලනය සහ විනිවිදභාවය ආමන්ත්‍රණය කරන ව්‍යුහාත්මක සහ කල්පවත්නා ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බවද ඇය සඳහන් කර තිබේ.
එක්සත් ජනපද තානාපතිනිය මෙහිදී පෙන්වාදී ඇති වැදගත් කාරණයක් වන්නේ, IMF ණය පැකේජය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ ණය, කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරවා ගැනීම වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බවයි.
තානාපතිනිය මේ කාරණය විශේෂයෙන් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් ප්‍රමාණවත් සහනයක් ලබාදීම චීනය විසින් ප්‍රමාද කිරීම සහ ඒ පිළිබඳව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් සමග සමග පවා චීනය ඇතිකරගත් මතභේදයන් නැවත සිහිපත් කරමිනි.
IMF කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නේ කුමක්ද?
මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්,ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 03 ක පමණ ණයක් අනුමත කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ප්‍රකාශ කර ඇත.
“අද අපගේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් බිලියන 03 ක පමණ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර අනුමත කිරීම ගැන ඉතා සතුටුයි. අන්තර්ජාතික ණයහිමියන් ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා එක්වීම වැදගත් සන්ධිස්ථානයකි.” යැයි ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.